"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Tuesday, August 17, 2010

Bell-bottoms, මංගල මුදු සහ මට පිස්සු(ද?)

   මම තාමත් හොයනවා මාව. මගේ ජීවිතේ. හැමදෙයක්ම එකට පැටලිලා, ඇඹරිලා, හුස්මක් කටක් ගන්න විදියක් නැතුව අන්තෙටම වැටිලා. මේ අවුරුදු 27කට ආසන්න කාලය ඇතුලෙදි ජීවිතේ මාව කොහේටද ගෙනාවේ?

   අවුරුදු 27ක් කියන්නේ වර්තමාන මිනිසාගේ අපේක්ෂිත ආයු කාලයට සාපේක්ෂව සෑහෙන ලොකු කාලයක්. මට සාපේක්ෂව ඒක ඊටත් වඩා ලොකු කාලයක්. මෙච්චර කාලයක් තිස්සේ මේ විශ්ව සම්පත් භුක්ති විඳපු මම ඒ වෙනුවෙන් ලෝකෙට මොනවද දුන්නේ? එච්චර මොකටද, මම මට කියලා මොනවද කරගත්තේ? සමස්ත ලෝකය කියන දේ අමතක කරලා පවුල කියන ඒකකය විතරක් වෙන් කරගෙන ඊට අදාලව ඔය කියපු ප්‍රශ්න ටිකට උත්තර හෙව්වත් මට ලැබෙන උත්තරේ එකම එකක්.

   අතීත සිදුවීම පසු කාලීනව නැවත නැවත සිදුවීම මේ ලෝකයේ ස්වභාවයක්. ඕකට තියෙන හොඳම උදාහරණයක් තමයි විලාසිතා. කාලයක් (60-70 දශක වල) Bell-bottoms කියන්නේ අතිශයින්ම ජනප්‍රිය විලාසිතාවක්. ඒත් කාලයක් යද්දි ඒකම යල් පැන ගිය හණමිටි විලාසිතාවක් බවට පත් වෙනවා. ඒත් එතනින් තවත් අවුරුදු 20ක් (90 දශකයේ අග භාගය) ගතවෙද්දි ඒ විලාසිතාවම ආයෙත් තරුණ පරම්පරාවෙ රැල්ළක් බවට පත්වෙලා, තවත් වසර කීපයකින් නැවතත් අභාවයට යනවා. "ඕක දැන් යල් පැනලා..." කියලා ඒ අතීතය වළදාන්න බැරි, අද ඒක යල් පැනපු පරණ මෝඩ Fashion  එකක් උනාට තව කාලයක් යද්දි ඒක අලුත්ම අලුත් Fashion  එකක් විදියට ආයෙත් සමාජගත වෙන්න හොඳටම ඉඩ තියෙන නිසා.

   කොහොමහරි මට කියන්න ඕනෙ උනේ මේ ලෝකය ඇතුලේ එකම දේ කාලයෙන් කාලයට ආයෙ ආයෙ සිද්ධ වෙනවා කියන එක. කාට හරි හිතෙන්න පුලුවන් ලෝකෙ ගෝලාකාර බවත් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ඉලිප්සාකාර චලිතයත් මේ ක්‍රියාවලියට යම් බලපෑමක් ඇති කරනවා කියලා. ඒකත් වෙන්න බැරි නෑ, ඒත් මටනම් ඒකෙ කිසිම ගෝලීය හැඩයක් පේන්නෙ නෑ. ඒක එච්චර සුමට නෑ කියන එක තමයි මගේ හැඟීම. 

   සම්මත ශිෂ්ඨ විවාහයක් සිද්ධ වෙනකොට මුදු හුවමාරුව අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මම දන්න විදියට ඒකෙන් අදහස් වෙන්නේ අවසානයක් නැති ගමනක් එකටම යන්න දෙන්නෙක් අතර වෙන පොරොන්දුවක්. මුද්දක් කියන්නේ වක්‍රාකාර වස්තුවක්, ආරම්භයක් අවසානයක් හොයන්න බැරි සුමට දෙයක්. ඒත් (විවාහ) ජීවිතේ ඔය තරම්ම සුමට නෑ මගේ පෙනීමේ හැටියට නම්.


   මේ විකාර ඔක්කොම ඔළුවට ආවේ එක්තරා ඡායා රූපයක් දැකලා ඒ ඔස්සේ මගේ ජීවිතේ ගැන හිතන්න ගිහින්. අවුරුදු 27කට ආසන්න මගේ ජීවිත ගමනේ අන්තිම අවුරුදු 3 විතරක් වෙන්කරගෙන මම කාලය හරහා ඒ ආරම්භය හොයාගෙන ගියා. එතන් ඉඳන් අද දවස වෙනකන් ෆිල්ම් එකක් බලනවා වගේ මම පිටතින් ඉඳන් මගේ ජීවිතේ දිහා බලාගෙන හිටියා.

   මුලින්ම මම දැකපු දේ තමයි මම අද ඉන්නෙත් එදා හිටපු තැනමයි... ඒත් අද එතන ඉන්නේ එදා හිටපු මම නෙමෙයි. මම වෙනස් වෙලා, කාලයක් තිස්සේ එකතු කරපු අත්දැකීම් මාව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්කරලා. ඒ වෙනසම තමයි අද මේ විදියට අතීතයට යන්න මාව පොළඹවන්නේ.  

   ආයෙත් මුලට ආවොත්, එදා ගමන පටන් අරන් මම සෑහෙන දුරක් ඇවිද්දා. සෑහෙන දුකක් විඳලා භෞතිකමය වශයෙන් ගොඩක් දේවල් ලබා ගත්තා. ඒත් අද වෙද්දි ඒ හැම දෙයක්ම මගෙන් ඈත් වෙලා... මම ආයෙත් ආරම්භයේදි හිටපු තත්වෙටම පත් වෙලා. ආයෙත් හිටපු තැනටම ඇවිල්ලා. කොටින්ම ජීවිතේ ආයෙත් මුල ඉඳන්ම පටන් ගන්න සිද්ධ වෙලා.

   මම ඒ ආපු ගමන රවුමක්වත් ඉලිප්සියක්වත් වගේ සුමට සුන්දර ගමනක් නෙමෙයි. හැබැයි ප්‍රතිඵලය එකයි. ඇත්තටම ඒක එකම රාමුවක් ඇතුලේ කොටු වෙලා ඈතින් පේන ලස්සන ජීවිතේ වර්තමානයට ගන්න කරපු උත්සාහයක්, එහෙමත් නැත්නම් හිත පාලනය කරගන්න බැරිකම නිසාම අසාර්ථක වූ මෙහෙයුමක්.
 
   මම මේක ලියන්න පටන් ගත්තේ මගේ "හතරැස් වූ ජීවිතය" ට පසුවදනක් විදියට. ඒත් මේ විකාර හිතලා, ලියලා අන්තිමේ මේ වෙද්දි මගේ අදහසත් ටිකක් සංකීර්ණ වෙලා වගේ. දැන් මට හිතෙන්නේ මගේ ජීවිතේ විතරක් නෙමෙයි, 
   මේ මුළු ලෝකෙම හතරැස්....

Friday, August 13, 2010

හතරැස් වූ ජීවිතය


ඇරඹුමක්
ගමනක් සහ අවසානයක්(?)
නෑ බාධකයක්,
අංශක 90ක් සමග යළිත් ගමනක්
නොනැවතී ඉදිරියට....


අනේ මන්දා..
අන්තිමේ
හිටපු තැනමයි
මම....

Friday, May 21, 2010

කවි මඩුවක වග 09 හෙවත් අවසානය...


දින ගණනක් පුරා එක්වී කවි ගෙතුව
මුළු කවි මඩුව රස ආකරයක් කෙරුව
ඔබ හැමදෙනාටම හද පතුලෙන් මතුව
එන සුභ පැතුම් පතනෙමි අහිතක් නැතුව...

කවි මඩුවක් තනා කවි සිත් සනසන්න
පෙරමුණ ගත්ත සැමටම තුති පුදමින්න
මේ බැඳි මිතුරු දම් සදහට පවතින්න
පැතුමක් තියා මම සමුගෙන යමි ඔන්න...




මේ විදියට සමාප්ති සටහනක් තියලා මට කවි මඩුවෙන් කලින්ම සමුගන්න සිද්ධ වුනු නිසා මගේ මඩ ව්‍යාපාරයත් එතනින්ම නැවතුනා. කවි මඩුවේ මගේ කෙරුම් කවි 110කට සීමා වුනත් එය මම මගේ ජීවිතය තුල ලියූ වැඩිම කවි ප්‍රමාණය ලෙස පෞද්ගළික වාර්තාවක් මට හිමිකර දුන්නා. :D එයිනුත් වැඩිම ප්‍රමාණයක් (39 ක්) ලියා තිබුනේ අවසන් දිනය තුල. 110ක් ලියලා මූ කියවන තරමක් නේද... :P


ඇත්තටම මට කරන්න අවශ්‍ය වුනේ මං ගැනම පුංචි පරීක්ෂණයක්. මම සාමාන්‍යයෙන් එක දෙයක් එක දිගටම කරගෙන යන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි. කරන කරන හැම වැඩේම බාගෙට... බ්ලොග් ලියවෙන්නෙත් කලාතුරකින්, මෙහෙම ගිහින් ඒකත් නැවතිලාම යයිද මන්දා... :(


යන්තම් කොහොම හරි පද හතරක් ගැට ගහගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා කවි මඩුවට අයැදුම් කළත් කවියෙන් වාද කරන්න පුළුවන් වෙයිද කියලා සැකයකුත් තිබුනා. ඒ වගේම කවි මඩුව පැවැත්වුනු වෙලාවත් එක්ක මට ඒ හා රැඳී ඉන්න තිබුනු කාලයත් ඉතා සීමිත වුනා. නමුත් නොහිතපු විදියට මම කවියට ඇබ්බැහි වුනු නිසා කඩින් කඩ වුනත් අතරමග නොනැවතී අවසානය තෙක් ඒ හා රැඳී සිටීමට හැකි වුනා. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔය ලියපු පුංචි කවි 110 මට විශේෂ කාරණයක් බවට පත් වෙන්නේ.


ඒ වගේම අතීත කවි මඩුවල අසන්නට ලැබුණු එළිසම සහිත, පද හතරේ කවිය පුළුවන් තරම් කවි මඩුව තුලදී භාවිතා කරන්න මම පුංචි උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ සාර්ථක අසාර්ථක බව තීරණය කිරීම පාඨක ඔබට බාරයි....
ඒ එක්කම මට වඩා සාර්ථකව ඒ කාර්යයේ නිරත වෙමින් මගේ ප්‍රියතම කවියා බවට පත් වූ 'අනුරාධ' සොයුරාට මගේ උණුසුම්  සුභ පැතුම්.


අවසාන වශයෙන් මා හා නිතරම වාදයට පැටළුනු වැප් සොයුරාටත් දිල්, හිපෝ සහ පබලු සොයුරියන්ටත් අදහස ඉදිරිපත් කළ ගීත් සොයුරාට සහ එම අදහස සාර්ථකව ක්‍රියාවට නැංවූ 'ලාංකීය සිතුවිලි' මිතුරු කැළටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නම් සඳහන් නොකළත් කවි මඩුව සාර්ථක කිරීමටත් එය සුන්දර හා රසවත් කිරීමටත් එක් වූ කවියට පෙම් බැඳි සියළුම සොයුරු සොයුරියන් සිහිපත් කරමින් ඔන්න මම නිළ වශයෙන්ම කවි මඩුවෙන් සමුගන්නවා....
ඔබ සැමට කවි බර හෙටක්.......!!!

ආ සැම දෙනට කියවන්නට මගෙ බයිලා
පුදනව ස්තුතිය හදවත දිග ඇරලා
ඔබ සැම මිතුරන්ය සැමදා ඇති රැඳිලා
මගෙ දොර අගුළු ඇත ඔබ සැමටම ඇරිලා...


ප.ලි.
කැමති කෙනෙකුට මෙතනින් ගිහින් සම්පූර්ණ කවි මඩුවම බලන්න පුළුවන්.
2011/04/16

Thursday, May 20, 2010

කවි මඩුවක වග 08

රිසි සේ හැසිරෙන්න හෙවත් කවි මඩුවේ අවසන් මඩ

වැපෝ උඹට මේකට ස්තුති වේවා
පරණ මඩුවෙ ඉඳලා මට ඇති වූවා
හැකි ඉක්මනින් මම මේකට ගොඩ වූවා
අරගෙන මඩ වරෙව් මට මොනවද ඕවා...
ගීත් මොකද බුරනුයෙ බල්ලෙක් වාගේ
මටනම් එහෙත් මේ පැත්තත් එක වාගේ
බයිලාවලට උඹ හරි ආසා වාගේ
වාද බයිලා කියමුද හෙට දින වාගේ...
කව්ද යකෝ ලණු දැම්මේ අපෙ දිල්ට
දාගන්නටයි දත කන්නේ එය වැප්ට
ඒවා කොහෙද මම ඉන්නවා දැන ගන්ට
වැප් බය නොවී වර මම ඉන්නවා උඹට...
යම රජු මොනවටද උඹ අම්මනෙ කාළී
දිල් උඹ ඉන්නකල් තව මොකටද කෑලී
වැප්ටම හලන්නේ ඇයි උඹ පල් හෑලී
වාගෙයි මදය නැති උඹ ප්ලයිවුඩ් ලෑලී...
යක්කු ගැනම මොනවද මේ කියන කතා
අහගෙන ඉන්නෙ කොහොමද මම නැතුව කැතා
ගැහුවත් උඹට මඩ අනලා තදින් ඉතා
හිත රිද්දන්න නම් මගෙ නෑ කිසිම හිතා...
දිල් දිල් නගේ දැන්නම් මට දුකත් දැනේ
ඇයි උඹ එන්නේ පැටලෙන්නට වාගෙ ඇනේ
මා එක්කලා පැටලුනොතින් හොඳට දැනේ
ඒකයි කියන්නේ සාමෙන් හිඳිනු මැනේ...
ආවේ මමත් පෙන්නන්නට ටිකක් වැඩ
කෙල්ලන් මෙතන ඉන්නා කෝ නෑනෙ හැඩ
හතර වටේටම තිබුනත් කොතෙක් මඩ
මට කම් නැතේ මම නෙළුමක් වගෙයි හැඩ...
හිපෝ තලයි මඩ සුපුරුදු ලෙසින් වලේ
දිල් හා එකතු වී සහයෝගෙන්ම බොලේ
මේව දකින මට සිහි නෑ වගෙයි මොළේ
දෙන්නම එකට බැඳ යවමුද ගිලීමලේ...
අහිංසකව හිටි වැපාට මඩ ගහලා
දිල්ටයි හිපෝටයි හොඳහැටි තදවීලා
දෙන්නම් උඹලා දෙන්නට කිරලා මැනලා
කලිසම් ඇතත් නැතුවත් අපි නෑ වැටිලා...
දිල් හට හිතුන මුත් කරනට සුමියා කිස්
හිපෝ ඇවිත් තැබුවයි දෙන්නටම දෙස්
මේ වැඩ අස්සේ දිල්ගේ බත් එකත් රොස්
කන්නට වෙලා දැන් තම්බාගෙනම කොස්...
එලොවට ගියත් මම යළි මෙලොවට එන්නේ
ඒ ආ පසුත් නෑ උඹනම් හැර යන්නේ
මගේ බෙල්ල කඩනට උඹ සැරසෙන්නේ
ඒවට කලින් මම උඹ ගෙන පැන යන්නේ...
හිපෝ බයවෙලා ගැලවුනු කලිසමට
දැන් ඈ සොයයි කට්ටඬියෙක් තොවිලයට
ඔතරම් බයයි නම් උඹ නෑවිත් මෙහෙට
දැන්මම ගිහින් පැනපන් උඹෙ මඩ වලට...
වැපා නැතත් මම තනි වීලා නැත්තේ
සුමින්දයයි සසීන්ද්‍රයයි මගෙ පැත්තේ
පැනලා යන්න මා සමගින් දිල් ඇත්තේ
අනේ හිපෝ උඹමයි තනිවී ඇත්තේ...
හිපෝ මොකද දැන් හිඟමන් අයැදින්නේ
මදුරංගටත් මුකුළුව දාගෙන යන්නේ
වාද කරන්නට බැරුවද දඟලන්නේ
පැරදුම පිළිඅරන් යන්නද සැරසෙන්නේ...
පැන යන එකත් මා හා ජොලි කියාලා
දිල්මයි කිවුවෙ පෙර කවියෙන් ගොතාලා
පොඩ්ඩක් මූසිකය එහෙ මෙහෙ කොරාලා
බැලුවොත් පෙනෙයි මේ ඇත්තයි කියාලා...
වැපා මොටද අල්ලන්නට මට පන්දම්
ගොන් බානක් වුව කම් නෑ දෙනවානම්
ඉරිසියාව නම් හොඳ නෑ මේ අන්දම්
එන්නට කැමතිනම් ඔබටත් නෑ තහනම්...
අපොයි හිපෝ ඕවා නම් කැත වැඩය
ගැහුවොත් මඩක් මම නම් එය මූණටය
තව තව මඩ ගසා මොකටද වැප් නැතිය
ඉන්නා එකෙක්ටම ගහනා එක හොඳය...
වව්ලෙක් වුනත් මම උඩ එල්ලී ගත්ත
කවි ගොතනවා හෙලවී යන්නට පැත්ත
නූලක් අරන් අඹරා මඩ ගා ගත්ත
අමුනා පබලු එල්ලනවා උඩ අත්ත...
දිළිසෙනු බලන්නට නම් පබලුගෙ මාලා
ගන්නට වෙනවමයි මහ මුහුදේ ඔබලා
මෙතුවක් දවස් හොඳ හැටියට මඩ නාලා
මදිවීලාද තව තව කන්නේ ඉල්ලා...
මෙන්න පබලු දෙනවලු මඩ ගුලි කරලා
කුරුමිණියෙක් වගේ කන ගොම ගුලි හදලා
මට හරි දුකයි උඹ ගැන කඳුලුත් ගලලා
පිසදා ලන්න එන්නද ගමටම කියලා...
මඩනම් තිබුන මුත් අඩුවක් නැතුව තදින්
මම හිටියනේ නෙළුමක් වගෙ ඊට උඩින්
උඹ හිටියනම් ඒ මොහොතෙදි මගේ ළඟින්
සත්තයි අරන් යනවාමයි සැමට හොරෙන්...


මඩේ ඉපදිලා හැදිලා වැඩුනු නිසා
පබලුට ඕවා ලොකු නෑ මඩ පුරුදු නිසා
එනමුත් නගේ මේ මඩ හරි නපුරු නිසා
පරිස්සම් වෙලා හිටියොත් ඒක යසා...
පබලුගෙ හිතට හොඳටම රිදිලා හින්දා
මට පව් කියා හිතෙනවා අඬනා හින්දා
මගෙ කට කොහොමටත් වැඩි හොඳ නැති හින්දා
මට හරි දුකයි නංගියෙ උඹ පොඩි හින්දා...
පොඩියි කියා හිතලයි මම දුන්නෙ මිදී
ආවොත් ඔහොම දෙන්නම් ගැලවෙන්න රෙදී
කොතරම් ගැසුවමුත් මට රිදවන්න වැදී
මා අඬවන්න නම් ඔය හොඳටෝම මදී...


මේ post එකනම් ටිකක් දිග වැඩි වුනා, අන්තිම කොටස වෙනුවෙන් තව post එකක් දාන්න වෙනවා. සමාවෙන්න ඕනේ... ඒ වගේම මේවා සැර වැඩිද කියලත් හිතෙනවා දැන් කියවද්දි.. :( :(  දිල්හිපෝපබලු.. වරදක් කළත් සිතකින් නොවේ හොඳේ...







Wednesday, May 19, 2010

කවි මඩුවක වග 07

FM නාලිකා / අලුත් සින්දු හෙවත් රිසි සේ හැසිරෙන්න

FM නාලිකා පිළිබඳ සංවාද
කරනට ආව මුත් නැහැ මගෙ කිසි භේද
පැරණි ගී වුවත් නවතම වුවත් අද
මමනම් අහනවා හොඳනම් නැහැ වාද...
ඇසෙනා විටදි FM ගිරවියගෙ නද
ඒ වෙත සිත නොයන කෙනෙකුන් ඉන්නවද
සමහර ගීත ඇසුනත් සිත් කරන වද
මහරෑ සවන් ගත වෙයි හොඳ ගීත නද...
ඒකට පිළිතුරක් ඔබ හට කියන්නට
ආවත් සිතට බය ඔබ ඔරවයිද මට
එනමුත් කියමි මම අරගෙන හිතට ගට
නෑ කිසි කතා ගී පමණයි මහ රෑට...
සැමටම කියන්නේ FM ගැන වාද
කරනට තරම් නෑ මට කිසි මතවාද
මොන මොන තරම් FM රට පුරවාද
කොහොමද කියන්නේ මම පිට රට නේද...
මොනවද කොල්ළනේ දැන් මේ තැන වෙන්නේ
පෙනෙනා ලෙසට වාදය හෙඩිමෙන් පිටනේ
මේ හෙඩිමටත් ලියනට කිසිවක් නැහැනේ
සැමටම කරුණු ඇති හෙඩිමක් වෙත යන්නේ...
මඩනම් මඩ දෙන්නම් මම දාලා වැඩ කිඩ
කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වී දෙනවද ඉඩ
කට දැම්මොත් වෙඩි තියනවා තියලා ගල උඩ
ගහගමු අපි මඩ හොඳ හැටි මොනවද මේ පඩ...
මොකද නංගිලා මල්ලිලා නොකර කතා
මමනම් ඉන්නවා වාදෙට ලැදිව ඉතා
එහෙනම් ගහමු මඩ සැම දෙවි පිහිට පතා
වැඩිපුර තියෙන මඩ දෙන්නම් යන්න ඔතා...
මොනවද වැප් කියන්නේ කවි නොව බයිලා
මොකටද ආවෙ උඹ මේ තරමට බීලා
කියපන් ආයෙ යනවිට මා අමතාලා
යන්නට ගිහින් එන්නට හොඳහැටි ගසලා...
කරලා ඇත්තෙ උඹනම් යුතු දේය කළ
වැපා මොකද දඟලන්නේ පැනලා මළ
උදව් කරපු අයටත් මේ වගේ කළ
වැප් වගෙ එවුන් යටකල යුතු දමා වළ...
වමනය කරන්නට නම් මොකටද බිව්වේ
බිව්වා නොවෙයි වමනය මම අස් කෙරුවේ
ඒ මොන දෙයක්වත් මූ නම් නැහැ දුටුවේ
ලැගලා හිටියේ මම යනවිට ගව මඩුවේ...
බලපන් වැපෝ කවි මඩුවේ බර වැඩිදේ
ලෝඩ් වෙන්න කොතරම් වේලා යයිදෝ
හොයලා බලාපන් ඉක්මන් කර ආඳෝ
මඩුවම කඩා වැටුනොත් හරි දුක නේදෝ...
මොනවද සසීන්ද්‍රයො උඹ මේ කියවන්නේ
වැප් මොන පොඩිද මට වැඩියෙන් වැඩිමල්නේ
බොන්නට තිබුනනම් ඇයි මේකාට දෙන්නේ
මම බොනවානෙ මූ බොරුවට දඟලන්නේ...
බයිලා ගහන්නේ ඇයි කවි මඩු අස්සේ
ගීත් උඹට නැතුවද කිසි විස්වාසේ
පීටර් මොකද නයි දාගෙන රෙදි අස්සේ
වාද බයිලා කියමුද මඩුවෙන් පස්සේ...

කවි මඩුවක වග 06

ලංකාව දියුණු කල හැකිද? නොහැකිද?
ඇත්තයි උඹත් කිවුවේ ඇත්තම ඇත්තා
එය ඇසු ගමන් මම උඹෙ පැත්තම ගත්තා
පොදු ජන රවටලා සබයට පැන ගත්තා
මුන් රැල නැති කලොත් මිස දියුණුව නැත්තා...
දියුණුව දකින්නට නම් සිරි ලක් දීපේ
නැතිකල යුතුයි මේ මැටි දෙස් පළු සාපේ
හදනට රට බැරිය පවතින තෙක් මෙ කපේ
නැතිවී යන තුරා සිංහලයගෙ ඕපේ...
ඉරයි හඳයි එක තැන තියනට බැරිවා
වැප්ටයි මටයි එක පස ඉන්නත් බැරිවා
උඹටම මඩ ගසා හිත වාවනු බැරිවා
මේ හෙඩිමෙදී මට කවි කීමට බැරිවා...
අදනම් හරි ගියේ නෑ මට මේ පාර
කවි ලියනටත් බැරිවිය පළවෙනි පාර
නිදිමත ඇවිත් ගහනව කුළු ගෙඩි පාර
දැන් මම ගිහින් බැට දෙන්නම් එන පාර...


සුද්දා නැතිනම් අපි තාමත් අමුඩ කෙටියේ
දෙන්නම් අදහසක් යන්නට පෙර නික්මී
රාවණ රජුත් ගියාලු මොණරෙන් නික්මී
සුද්දා ඇවිත් කෙරුවත් වැඩ නැති හික්මී
උන් නාවනම් තවමත් හෙළයා ගොන්මී...

කවි මඩුවක වග 05

විවාහ ජීවිතේද හොඳ? තනිකඩ ජීවිතේද?

ආවා ඔන්න ආවා මම කවි රැගෙන
කවුරුත් මොකද තාමත් නැත්තේ මෙතන
වැප් සහ සෝරො ඇයි නිහඬව බලාගෙන
විවාහයද තනිකඩදැයි කියනු මැන...

තවමත් තනිකඩයි මම කෙල්ලෙක් නැතුව
බැන්ඳොත් නැතිව යයි ඇති ආතල් සතුව
ලැබුනොත් දිනක කෙල්ලෙක් විලසින් පැතුව
බඳිනව එතෙක් ඉන්නවා තනියට නතුව...

දැන්නම් ඉතින් පැත්තක් ගන්නට වෙනවා
දෙපැත්තටම යන්නට ආසා වෙනවා
අනුවත් වැපත් මට මේ ගැන පවසනවා
කොයි පැත්තටද අඩු මම ඒකට එනවා...

වැට උඩ ඉන්න එක අවදානම් වාගේ
දැන් දැන් වැටත් සෙලවී යනවා වාගේ
ඉක්මන් කරන් බන් මට දැන් ඇති වාගේ
විවාහයට මගෙ හිත ඇදෙනව වාගේ...

වෙනස් වෙලා ඉතිහාසය පළමු වර
වැපා සමග එක පැත්තේ නිශාචර
අදිමු අදිමු ගේමම දැන් දාලා බර
තනිකඩයට කෙලවන්නට අනුවො වර...

ඔබේ පාට නිල් පාටයි
ඒ පැත්තේ සසීන්ද්‍රයයි
පීටර් හා දිල් නෝනයි
උඹලට දෙවියන් පිහිටයි...

ඇයි නංගියෙ දිල් නංගියෙ බයද ඔයා
පාට දැකපු ගමන් මෙයා යන්න ගියා
තරහ නැතුව මේ පාරෙන් එන්න මෙයා
විවාහයට පිවිසෙන් මුළු ලොවට කියා...

දැන්නම් ඉතින් මගෙ ඔළුවත් පිස්සු වුනා
තනිකඩ වෙන්න කවුදැයි පෙර කැමති වුනා
පෙනෙනා ලෙසට තනිකඩයින් නැතිවෙමිනා
බඳින පිලට මේ ඔක්කොම පාත් වෙනා...

පීටර් කොළුවා කෝ ආගිය අතක් නැතී
දිල් නංගී හිටියත් ඇය එන්නෙ නැතී
සසීන්ද්‍රටත් දැන් යන එන මං නොමැතී
අනේ හිපෝ මට උඹ ගැන දුකත් හිතී...

අපොයි නගේ මම ඕවා දන්නෙ නැතී
පාට නිසා නොව මම මේ පැත්තෙ ඇතී
පාටක් මොටද උඹෙ හිත උඹ දන්නෙ නැතී
කවියක් ලියමු වී පැත්තට උඹ කැමතී...

වැපා එය කලේ අප කාගෙත් හොඳට
කිසිවෙක් සිතා පිලකට ගියෙ නැති කමට
ඕකට ඔය තරම් ඔරවන්නේ මොකට
අමතක කර පාට කවි පබඳිමු ජයට...

බලන්න දිල් දැන් මෙහි පාටක් නෑනේ
බොරු කලබල කිසිවක් ඕනෑ නෑනේ
වාද කරන්නට දෙපිලක් ඕනෑනේ
විවාහෙටයි මම තනිකඩ වෙන්නෑනේ...


Tuesday, May 18, 2010

කවි මඩුවක වග 04

අදත් ගොඩවුනා මම තෙරුවන් නමැඳ
කෝ මේ කවියො ටික මුන් තවමත් නිදිද
අත දිග ඇරලා ලියනවා කවි වැල් පබැඳ
ගැහැනුන් තමයි ලස්සන පිරිමින් කොහිද...
දිල් මේ මොකද හුස්මත් හිරකර ගත්ත
හැටි දැක මගෙත් හිරවෙනවා පපු පැත්ත
මොන මළ යකා ආවත් අරගෙන කැත්ත
මම කියනවා ඇත්තම ගියමුත් පැත්ත...
වේරංගා කව්ද මම නම් නැහැ දන්නේ
මීට කලින් නම් කොහෙවත් දැක නැත්තේ
කටට එබූ මසුරන් ටික ගිල ගත්තේ
හැදුනොත් බඩේ ලෙඩ එනවද මේ පැත්තේ...
ලියනට කවි කතා එක්කර දමා පැණී
තියෙනා දුක වුවත් සමහරු බෙදා ගනී
ඉන්නවා ඉතින් අපි සැමදෙන එකා වැනී
බ්ලොගයක් ලියන්නයි ඇරයුම නිශා ගෙනී...
ගැහැනුන් ලස්සනයි මටනම් නිමක් නැතී
පිරිමින් කඩවසම් එහි සැකයකුත් නැතී
ඔන්න වැපෝ කිව්වා මම ඇත්ත ඇතී
තේරුම් ගනින් මා හට දැන් පුදා බැතී...
අහපන් වැපෝ අහපන් අරගෙන තේරුම්
කරලා දෙන්නෙ උඹ හට කවියෙන් බේරුම්
ගැහැනුන් ලස්සනයි රෑටත් වලින් කෙරුම්
බැඳපන් ඉක්මනින් උඹටත් යයි තේරුම්...
දුරට ඇපල් ළං වෙනවිට පැපොල් වෙතී
ඒ ලෙස කියන උඹ මෙය නම් දන්නෙ නැතී
ලස්සන රස ඇපල් නෙක පැහැයෙන් පවතී
මට දුක ඒවා කන්නේ පණුවන්ය නිතී...

කෙල්ලන් ලස්සනයි හොඳ පැහැයයි කීවා
එය ඇසු වැපා බිය වී දුවගෙන ආවා
කෙල්ලන් කොහෙද ලස්සන මම වැප් කීවා
ඒ ලස්සන ගැනයි මම ලියනුයෙ මේවා...

කැටයක් අඟුරු තැබුවොත් ඉර හඳ ගාවා
ලස්සන වෙයිද වාගේ එය හඳ හාවා
වැප්ගේ හැඩ බලන්නට හොඳ හැටි නාවා
ගන්නට වෙනවා කිරි කල හතකින් මූවා...

මගේ ඇඳුම ගැන ඇයි උඹ වද වෙන්නේ
කෙල්ලන්ගේ හැඩයි මම කියලා දෙන්නේ
ඇයි උඹ නකුට පාගාගෙන දඟලන්නේ
මම නම් නෙවෙයි උඹ නාවන්නට එන්නේ...

මටනම් දුකයි වැප් අද උඹ තනි වෙනවා
දුක වැඩි නිසා මම දැන් ටිකකට යනවා
ඇදගෙන යමන් කෙල්ලනි සැම මන පිනවා
බිය වන්නට එපා මම ආයෙත් එනවා...
ඇත්තම තමයි අනුවෝ උඹ දැන් කීවා
ඕකම කියන්නට මම හෙණ දත කෑවා
වචනයෙ අවුල පමණයි වරදක් නැතුවා
පිරිමින් කඩවසම් ගැහැනුන් හැඩ ඇතුවා...
මමනම් හිතුවෙ දැන් ඔක්කොම කියා නිදී
ඒ මුත් ඇවිත් වළියම තව තවත් අදී
දෙන්නෙක් එකතු වී කෙල්ලට කරන හදී
දැක දැක අහක බැලුමට මගෙ හිතට මදී...

කියනට කතා කෙල්ලන් ගැන හැඩකාර
ආවෙමි යළිත් අරගෙන මඩ හා තාර
කෝ මේ ගැටිස්සිය දිල් හරි කටකාර
කියපන් කවක් මුවගින් ඔය කවිකාර...

කෙල්ලන් ලස්සනයි මම Normal හින්දා
කොල්ලන් ලස්සනයි තොට තෝ Gay හින්දා
කොයි හැටි වෙතත් වචනත් මගෙ සැර හින්දා
කටවහගෙන ඉඳින් වැප් මට දුක හින්දා...

එන්නට නෙවෙයි හිටියේ ආයෙත් කොල්ලා
ආවෙ යළිත් තනි වූ හින්දයි දිල්ලා
කවුරුද බනින්නේ වැප් හරි හොඳ කොල්ලා
නාපන් පුතේ මේ වතුරට හිස අල්ලා...

Monday, May 17, 2010

කවි මඩුවක වග 03

දෑවැද්ද හොඳද නරකද?

දෑතම එකතුකර සරසවියට වැන්ඳ
පසුවයි ආවෙ කවි මඩුවට සිත බැන්ඳ
හොඳදැයි නරකදැයි කීමට දෑවැද්ද
අවසර මටත් කෙරුමට කවි පද බන්ඳ...

ගෑණිත් අරන් දෑවැද්දත් අරගන්න
හිතනා එවුන් දැන් මේකත් අහගන්න
සමහර ජාති වල මම හොඳ හැටි දන්න
පිරිමිත් පුදති දෑවැදි ගැහැණුන් ගන්න...
පොඩ්ඩක් ඉවසලා මේකත් අහගන්න
ඕකට පිළිතුරක් දීලා ඇත ඔන්න
කැමැත්තෙන්ම දෙනවානම් අරගන්න
යට ඇති කවිය දැන් පොඩ්ඩක් කියවන්න...
යුතුකම ලෙසට දෙනවා නම් දීම යුතූ
බලෙන් ඉල්ලලා ගන්නට නෑනෙ යුතූ
කොපමණ වෙනවාද මේ වගෙ අකටයුතූ
දෑවැදි ශබ්ද කෝෂෙන් පිටු දැකිය යුතූ...
හදලා මව් පියන් දරුවන් විඳල දුක
ගුණ දම් කියාදී ඉන්නට දහම රැක
ඒ දූවරුන් යවනා විට දීගයක
දෑවැදි ඉල්ලනා උන් පිරිමිදැයි සැක...

බඩගිනි නිවන්නට දෑවැද්දක් ඉල්ලයි
උඹ ගැන පුතේ ඇත්තට මටනම් ලැජ්ජයි
නිකමට වගේ කිව්වත් ඇත්තම ඇත්තයි
ඔහොමම ගියොත් බොට කෙළවෙනවා සත්තයි...

දුන්නොත් ගනින් මම කීවේ නැහැනෙ එපා
දෑවැදි ඉල්ලමින් පස්සෙන් යන්න එපා
කෙල්ළෙක් අල්ලලා බොරුවට සෙනෙහෙ පපා
හිඟමන් ඉල්ලලා චාටර් වෙන්න එපා... 

බඩ තර මුදලාළි මස් කඩ හිමිකාර
ගෙනෙනා එළදෙනක් මෙන් හරි හැඩකාර
ගෙනෙනා ප්‍රියාවිය නුඹ බැඳ කරකාර
හට නුඹ පෙනෙනු ඇත වගෙ මස් කඩකාර...

තමන් හිසට තම අතමය සෙවනැල්ළ
අහලා නැතිද මේ කවි උඹ මගෙ මල්ල
අනුන්ගෙන්ම යැපෙනට පා ගෙන අල්ල
හිටියොත් උඹට නෑමයි කිසි සැනසිල්ල...
නිශාචර වුනේ මම කාළෙකට පෙර
බැරි වූ නිසයි නිදනට රෑ යාමෙ පෙර
රාත්‍රියයි මට හැමවිට ප්‍රියංකර
නිශාවටම පෙම් බැඳි මම නිශාචර...
දෑවැදි දෑවැදිම වේ දුන්නත් කවුරූ
ඒවා දෙන්නෙ ගැහැණුන් පැනි කොටු පවුරූ
දෙන්නෙත් නැතේ ඉල්ලන්නෙත් නෑ මිතුරූ
උඹ තව දන්නෙ නෑ මිතුරේ මම කවුරූ...
දෙන්නම් මචෝ දෙන්නම් හිත සැනසෙන්න
කවදද එන්න හැකි කැමතියි දැනගන්න
කෑමත් බීම සමගම නිවසක් දෙන්න
පවුලත් හොයනවා බලු පැටියෙක් ගන්න...
රිදවන්නට හිතාගෙන නෑ මම කීවේ
හඬන්නට එපා මම විහිළුය කෙරුවේ
බල්ලෙක් උනත් ඇයි උඹ බොරුවට බිරුවේ
ඉල්ලූ නිසයි මම එය දෙන්නම් කීවේ... 

ගොඩ මඩ ඉඩම් විතරද උඹෙ ධනයෝගේ
මටනම් හැඟේ උඹ දැකලා නැත ලෝකේ
තම දෙපයින්ම හිටගත්තොත් එයයි අගේ
අහගන් එය තමයි ජීවිත ආලෝකේ...
කන්නට දෙන්න බැරිනම් ඇඳුමක් අන්ඳා
උඹ මොනවටද එන්නේ බිරිඳක් කැන්දා
කිසිවක් දැනුම් තේරුම් ගෙන නැති හින්දා
බින්නම බැහැ ගනින් නොම ගෙනවිත් කැන්දා...
කෙල්ලන් සොයමින් යන්නා
දෑවැද්දත් ඉල්ලන්නා
සියල් සපිරි කසාදයක්
මේ කපේදි නොම වෙන්නා...
මුන්ට පිස්සු උඹ පලයන් දුටු ගැමුණු
වාදය කරන්නට මුන් ලඟ නැහැ කරුණු
දෑවැදි ඉල්ලමින් ගැහැණුන් ලඟ නැමුණු
උඹලගෙ පිරිමි කම ගැන නැවතත් සිතනූ...
ගෑනුන් ගන්නෙ මොකටද උඹ නාකි වුන
ලස්සන කෙල්ලො සොයනට දැන් නැද්ද වෙන
හැඩ ඇති වයස අඩු ගෑනුන් සොයාගෙන
යනවානම් හොඳයි උඹ ඇඟ හදාගෙන...
ආවා විතරමයි දැක්කේ උඹව සනා
කතා නැතුව ඉන්නේ ඇයි ඔළුව වනා
දෑවැදි එපා කියමින් පද එකට අනා
කවි පද බඳිමු වාදය කර ගන්ට දිනා...
බඩගින්නට විසඳුම දෑවැද්දමද
දෑවැදි නැති වුනොත් උඹ මැරිලා යයිද
රස්සාවක් කරනට හයියක් නැද්ද
ලස්සන කන්න බැරිමුත් වෙන වැඩ නැද්ද...
උඹට දවල් වුනාට බන් මට හවස
අඳුරත් ගලාගෙන එනවා වෙත නිවස
දෑවැදි ඉල්ලනා නිවටුන්ගේ පවස
නිවනට මමත් ලියනව කවි මුළු දවස...
අන්න බොලේ නියම වැඩේ ඌත් ගොඩට ගියා
දිල්ටත් දැන් දැන් එන්නේ නියමම අයිඩියා
ආච්චිවයි සුමින්දවයි පෝරුව උඩ තියා
මිනී පෙට්ටියක් දෙමු අපි දෑවැද්දට කියා....
ආච්චිට වුවත් දෑවැද්දක් තියෙන
දීගෙක යන්න කිසි අඩුවක් නැත පෙනෙන
දෑවැද්දටම හැමදාමත් කෙළ හලන
මේ වගෙ එවුන් තවමත් ඉන්නවා මෙතන...
ගිය දුර එපා සොය සොය යන්නට නැන්දේ
කවි පද දෙක තුනක් කියමුද දා සද්දේ
හොඳ දැයි නරකදැයි කියමින් පද බැන්ඳේ
ගුණ දොස් තමයි අපි කවියෙන් දෑවැද්දේ...
ලිව්වා පැය ගණන් කවි පද වැල් ගලපා
දැන්නම් මට ඇතී යන්නට වෙයි පිටුපා
හෙට දින නැවත එමි වැඳ සමිඳුගෙ පිණිපා
ආයෙත් කියන්නේ දෑවැද්දනම් එපා...

Sunday, May 16, 2010

කවි මඩුවක වග 02

   මේ සංවාදෙදි නම් මට කවි ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. සැරින් සැරේ ඇවිත් ලියලා ගිය ටික තමයි මේ...


ගමද නගරයද

ගම වටකර හමනා මඳ පවන් රැලී
තිබුනත් ගමේ ඉන්නට මට හිතක් නැතී
ගස් වැල් නැතිව තිබුනත් නගරය වියලී
දිවි ගෙවනට මටනම් මෙය අගේ ඇතී...

මදි මදි වළිය ඇදෙනව හොඳටෝම මදී
තවමත් නෑනෙ හරියට කාටවත් රිදී
ගම හෝ නගරෙ හෝ වදිනා තැනට වැදී
දෙන එක දෙමුකො ගැලවී යන්නටම රෙදී... 
නිවාඩුවක් ලද විට ඉසිඹුවක් සොයා
යන මුත් ගමට සතියක්වත් රැඳෙන නියා
සතියක් ගෙවෙන විට එහි නැති සැපත සොයා
පිටවී එන්නෙ වැඩි වේගෙන් වාගෙ ගියා...
ගස් මුල ඉඳන් රා කටු බොන්නේ කුමට
විස්කි බ්‍රැන්ඩි මදිනම් වොඩ්කත් එමට
පොල් ලොරි මොකට මට එනවානම් ගමට
ඇත්නම් පොඩි ඉඩක් හෙළි කොට්ටෝරුවට...
බෙල්ලෙ එල්ලිලා නැටුවම ඇයි කිතිද
හඳපානේ පැනලා යන එක ගතිද
කැසිනෝ නරකනම් ඇයි බූරුවා හොඳද
ගහමුද එල්ලේ පාරක් අපිටත් බැරිද...

කවියනි කිවිඳියනි මා හට වෙන්න සමා
යන්නට වෙනවා දැන් නම් මට මේක දමා
ආයෙත් එන්න වෙන්නේ මට හෙටම තමා
එතකන් සැමට ආයුබොවන් සුභම තමා...


Saturday, May 15, 2010

කවි මඩුවක වග 01




   කාලෙකින් මොනවත්ම නොලියපු නිසා ලියන්න ගත්තත් මේ දවස් වල ලියන්න කියලා කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑ. මේ දවස්වල කරන එකම වැඩේ කවි මඩුවට වෙලා මඩ ගහගන්න එක තමයි :) ලියන්න දෙයක් නැති එකේ ඒ ලියපු කවි වගේ දේවල් ටිකවත් බ්ලොග් එකට ඇදලා දාන්න කියලා හිතුනා. 
    කවි මඩුව තනිකරම මඩ වලක් වෙලා තියෙන වෙලාවක තමයි මම මේ ලියන්නේ. ඉතින් කවි මඩුවෙදි මගේ මඩ ප්‍රහාරයන්ට නිතරම මුහුණ දෙමින්, හැම මාතෘකාවකදිම මගේ විරුද්ධ පාර්ශවය නියෝජනය කල හා කරන මගේ සහෝදර "වැප්" ට විශේෂ ස්තූතියක් පිරිනමන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. : D
   ඉතිහාසයේ ප්‍රථම වතාවට අකමැත්තෙන් වුනත් මටත් කුට්ටි කළ පොස්ට් එකක් දාන්න වෙනවා... මෙන්න පළවෙනි කුට්ටිය....


පුහුණුව
අහෝ දෙවියනී මට වුනු වියෝයා
කවි කියන්න වව්ලෙක්වත් නැතේයා
මගේ දුක බලා පිහිටක් කෙරේයා
යකෙක් වුවත් කම් නෑ මෙහෙ වරේයා...
ආවෙමි මමත් දත කට මැද උදෑසනේ
කවි වාදෙකට පැටලෙන්නට වෙලාසනේ
මඩුවම හිස්ය කිසිවෙකු නැත මුලාසනේ
සක් දෙවිඳුනේ කොයි ඔබෙ පඬු පුලාසනේ...



පහන් දැල්වීම
දුරු කරලා ලන්නට මෝහයෙ අඳුර
ප්‍රඥා පහන් දැල්විය යුතුමයි නිතර
අඩු වන්නට තව මෙහි පවතින අඳුර
දල්වමි මමත් පහනක් පිළිගන් මිතුර...
ජය හෝ පරාජය සමවම විඳගන්න
කවියෙන් කවිය ගලපා රස පතුරන්න
සතුරන් නොවේ මිතුරන් වැඩි කරගන්න
කාලය නොවෙද දැන් වාදය අරඹන්න...
ඊයේ රෑත් සුපුරුදු ලෙස මම වැඩය
කවි ලිය ලියා සිටියත් තව නිදි නැතිය
දැන් නම් නිදි කුමාරියගෙන් කරදරය
නොගියොත් අද රෑට වැඩ කර අහවරය...
මේ අහපන් අනේ වැපෝ
බොරුනම් කියවන්න එපෝ
හෙඩිම කොහෙද නෑනෙ අපෝ
හොයලා දීපන්කො යකෝ...
හා හා කොල්ළනේ කලබල වෙන්න එපා
කවි සිතුවිලි නම් දියකර ගන්න එපා
අකමැත්තෙන් වුවත් කිව යුතු වේය වැපා
හෙඩිමක් නැතුව නම් ආයෙත් එන්න එපා...








Sunday, April 18, 2010

රෝමය ගිණි ගනී...

   ගිය සතියෙ දවසක් රෑ වැඩ කර කර ඉන්න අතරෙ සෑහෙන කාලෙකට ඉස්සර කියවපු පරණ කතාවක් මතක් උනා. මට ඉතින් උප්පත්තියෙන්ම ආපු ලෙඩක් තියෙනවනේ.. ඔය ලෙඩේ ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි අතට අහුවෙන ඕනෙම ජරාවක් කියවන්නෙ නැතුව විසිකරන්න හිතෙන්නේ නැති එක.

   මට මතක විදියට මේ කතාව තිබුනෙ ගොඩක් ඉස්සර දවසක් ගෙදරට මොනවද ඔතාගෙන ආපු පත්තර කෑල්ලක. කතාවයි ඒත් එක්ක තිබුන කාටූන් එකයි කොහොම උනත් කවි දෙක නම් එකපාරින්ම මගේ මතක ගබඩාවට වැටුනා.

   මතක තියෙන කෑලි ටික එකතු කරගෙන ඒ කතාව ආපහු අලුත්වැඩියා කරගත්තොත්...... මෙන්න මෙහෙමයි වුනා කියන්නේ......

   කාලෙන් කාලෙට එන එක එක රැළි තියෙනවනේ.. ඒ වගේ ඉස්සර එක කාලයක් පාසල් ශිෂ්‍යාවන් අතර ජනප්‍රිය වෙලා තිබුනලු කුඩා ප්‍රමාණයේ Suit case වර්ගයක් school bag එක විදියට.  ඉතින් ඒ කාලෙ කොල්ලො මේ වගේ suit case අරන් යන් කෙල්ලන්ට විහිළු කලේ "තෙල් වෙළෙන්ඳියෝ" කියලලු. මොකද තෙල් බෙහෙත් විකුණන අයත් පාවිච්චි කරන්නේ ඔය වගේ bag නේ.

   "ආ නංගී, තෙල් වෙළඳාමේ යනවා වගේ...." වගේ කතා නිතරම ඇහෙන්න ඇති නේද? :)

   ඉතින් ඔන්න ඔය කාලේ එක්තරා කවියෙකුට(මතක විදියට ඔහු ජාතික පුවත්පතක සේවය කළ කෙනෙක්) ඔහුගේ හිතවත් කාන්තාවක් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලාලු ඒ ඇත්තිගේ දෝණියන්දෑ පිළිබඳව. මේ ගෑණු දරුවට තිබිලා තියෙන ප්‍රශ්නේ තමයි පාසල් යන එන අතර පිරිමි ළමයෙක්(පාසල් ශිෂ්‍යයෙක්) ආදර හැඟීම් ප්‍රකාශ කරමින් පස්සෙන් එන එක. මොන දේ කිව්වත් කොල්ලා try එක අත අරින්නෙම නෑලු. ඉතින් මේ කරදරේ නිසා ඇය පාසල් ගමනටත් අදිමදි කරන බව තමයි අම්මා කියලා තියෙන්නේ.

   ඔය කතාව අහගෙන හිටපු කවිකාර පත්තර මහත්තයා දීලා තියෙන උපදේශේ තමයි ඔය කරදර කරන්න එන අයට එරෙහිව කුඩේ පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ අම්මත් බොහොම සතුටින් උපදේශේ පිළිගත්තලු.

   ඊට සතියකට විතර පස්සේ ඔහුට ආරංචි උනාලු අදාල ප්‍රේමවන්ත ශිෂ්‍යයා තමන්ගේ සිහින කුමරියගෙන් හොඳ කුඩ පහරක් එහෙම කාලා සත්‍යාවබෝධය ලබාගත් බව. පත්තර කාරයන්ටත් නිකන් ඉන්න බැරි නිසා පහුවෙනිදා පත්තරේ ඔය සිද්ධියට අදාලව ලස්සන කවි දෙකක් එක්ක කාටූන් එකක් එහෙම පල කරන්න අපේ කතානායකයා අමතක කරලා නෑ.

   අවාසනාවකට වගේ ඒ කාටූන් එක අලුත්වැඩියා කරලා අඳින්න තරම් මගේ සිත්තර හැකියාවනම් දියුණු නෑ....

   ඔය කාටූන් එක ඔහු ඇඳලා තිබුනේ කොටස් දෙකකට. මුල් කොටසේ තිබුනේ suit case school bag එකත් අරන් පාසල් යන සිසුවියට පෙම්වත් ශිෂ්‍යයා තම හැඟීම ප්‍රකාශ කරන ආකාරය...

"දහසක් බුදුන් බුදු වුන හිමිදිරි යාමේ
ඈ යන්නීය පීනස් තෙල් වෙළඳාමේ
ඒ යන ගමන් මට නොපුදාවිද ප්‍රේමේ
එක දවසකින් ගොඩ නැගුවේ නැත රෝමේ..."

   දෙවැනි රූප රාමුවෙන් දැක්වුනේ ඔහු අනපේක්ෂිත කුඩ ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන් වී පලා යන ආකාරය...

"පෙම් දම් පවත්තන හැටියට නොපවත්තා
කළබල වුනේ ඇයි ඔය හැටි ඔය ඇත්තා
ගිණි දැල් බුර බුරා පැන නැග නොනවත්තා
ගොඩනැගුමටත් පෙර රෝමය ගිණි ගත්තා..."

   මේ කතාවෙ කතෘ අඥාත නම් නෑ ඒත් මට මේ කාව්‍ය රචකයාගේ නම මතක නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් සියල්ලන්ගේම දැන ගැනීම සඳහා සටහන් කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා.

Wednesday, April 14, 2010

ආ.. වඩා... ආ.. යු බොහෝ...... වේවා......

    කිරියෙන් පැණියෙන් ඉතිරීම කෙසේ වෙතත් හැමෝටම හිතේ සතුටින් සාමයෙන් ජීවත්වෙන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරන ගමන්ම, අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත් වැඩකට අත ගහන්නයි මේ සූදානම.

    උපන් දා ඉඳලා අද වෙනකන් ඉමක් නොපෙනෙන ජීවිත ගමන් මගේ, අපි ඇවිදපු දුර බොහොමයි. ඒ දුරෙන් වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙන්නේ තැනත් නියමයක් නැතුව හරි හමන් පාරක් නැතුව වල්මත් වෙලා වගේ අයාලේ ඇවිදිමින්. පොඩ්ඩක් හිතන්න, අද මෙතන ඉඳන් ආපහු හැරිලා බැලුවොත්  අපි ආපු පාරක් අපිටවත් හොයාගන්න බෑ... නේද? අපේ අඩි සලකුණු කාලයත් එක්කම මැකිලා ගිහින්. කොටින්ම මගේ පැත්තෙන් බැලුවොත් මටනම් මගේ උපන් දිනේ ඇරෙන්න වෙන කිසිම වැදගත් දවසක් නිකමටවත් මතක නෑ. අපෙන් කීයෙන් කී දෙනෙකුට අවංකවම කියන්න පුළුවන් වෙයිද මටනම් එහෙම නෑ කියලා....

    ඉතින් අපිට බැරි වෙයිද මේ තත්වයෙන් මිදෙන්න? අපිටම බලලා මතක් කරගන්න විතරක් නෙමෙයි, අපේ කාලේ සිද්ධ වුන දේවල්, අපි අපේ ජීවිත ගෙවපු හැටි අපෙන් පස්සේ එන පරම්පරාවලටත් කියවලා බලලා යමක් ඉගෙනගන්න, මේ කාලේ ගැන දළ වශයෙන් හරි අදහසක් ගන්න පුළුවන් වෙන දෙයක් ඉතුරුකරලා යන්න අපිට බැරි වෙයිද?

    'ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්' කියන ඇමරිකානු ලේඛිකාව 20 වන සියවසේ මුල් කාලයේදි ප්‍රකාශයට පත් කල 'ලිට්ල් හවුස්' කතා මලාව කියවපු කෙනෙක් ඉන්නවනම් මතක ඇති, තැනකදි ඇය කියනවා "මම ලිව්වේ මගේ ජීවිත කතාව, ඒත් අද මට හිතෙනවා මම මේ ලියලා තියෙන්නේ ඇමරිකාවේ ඉතිහාසය නේද කියලා". ඉතින් අද අපේ වර්තමානය හෙට ලෝක ඉතිහාසයට එකතු වෙද්දි අපෙනුත් දෙයක් ඒ ඉතිහාසයට එක් කරන්න සමහරවිට අපිටත් බැරිවෙන එකක් නෑ...

    දවසින් දවස ගෙවිලා යන ජීවිතේ අත්දැකීම්, මතක සටහන්, වැදගත් කියලා හිතෙන දවස් විතරක් නෙමෙයි කිසිම තේරුමක් නැතුව හිතට එන වල්පල්, අනං මනං ඔක්කොම සයිබර් අවකාශයේ සටහන් කරලා තියන්න, එහෙමත් නැත්තන් මගේ ජීවන ගමන් මගේ පිය සටහන් තවදුරටත් මැකිලා යන්න ඉඩ නොදී ඉදිරියටත් පවත්වාගෙන යන්න දරන පුංචි උත්සාහයක් මේ....

    එහෙනම් අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතන්න... අලුත් විදියට ලෝකය දකින්න... හැමෝටම ආ.. වඩා...  ආ.. යු බොහෝ...... වේවා......!!!!!

Thursday, March 25, 2010

මේ ඇයගේ කතාවයි...




     වෙනත් සහෝදර සහෝදරියන් නොසිටීමත් වයස් පරතරය ඉතා කුඩා වීමත් හේතුවෙන් කුඩා කළ ඇය මගේ හොඳම සහ එකම මිතුරිය බවට පත් වුවත් පසු කාලීනව ඇගේ හැසිරීම් රටාව මා ඇගෙන් තරමක් දුරස් කර තබන්නට සමත් උනා. මේ ඇයගේ කතාවයි...
    
      නංගි හැදිලා තියෙන්නේ ලෝකෙ තියෙන තරමක් සැර මිරිස් ජාති ඔක්කොම එකතු වෙලා කියලයි මම ඒ කාලෙ හිතුවේ. කොටින්ම කිව්වොත් එයාට තිබුනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ජාතියේ ලෙඩක්.  පොඩ්ඩ එහා මෙහා වුනොත් Sorryම තමයි. "නයි කයිද රෝස් පාන්" කිව්වලු..., අපි බය වෙයිද ඕවට... එයාගෙම අයියනෙ ඉතින් මම...
    
      මට ඒ දවස්වල තිබුන ජොලිම වැඩේ තමයි මෙයාව අවුස්සන එක. අම්මා කියනවා වගේ මෙයා ඉතින් කොයි වෙලෙත් පෙනේ පුප්ප ගත්ත ගමන්මයි. හැබැයි අවුලකට තියෙන්නේ පෙනේ පුප්පලා විතරක් නතර නොවී දරුණු විදියට දෂ්ඨ කරන්නත් පටන් ගන්න එක. ඒ වෙලාවට අතට අහුවෙන ඕනෙම weapon එකක් මට විරුද්ධව භාවිතා කරන්න කිසිම පැකිළීමක් නෑ. ඔය අවි ගබඩාවෙ පිහි, බෝතල් කටු, පිඟන් කෑලි, කළු ගල්, ගඩොල් වගේ හරිම සුමුදු සුසිනිඳු දේවලුත් නැති උනේ නෑ. මමත් ඉතින් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වලා ප්‍රති ප්‍රහාර එල්ළ කරන කොටම තමයි හැමදාම පොලිසියෙන් කඩා පනින්නේ.
     
      කොහේද ඉතින් මේ අන්ධ නීතියත් එක්ක මොකුත්ම කරන්න බෑනෙ, පොලිසියෙ ඇසින් දුටු සාක්ෂි අනුව පැහැදිළිවම වැරදිකාරයා මම නිසා හැමදාම මටම තමයි කූරු ගණන් කරන්න සිද්ධ වුනේ. ඒ විතරක්යැ ශිෂ්‍යත්ව විභාගෙ ළං වෙද්දි අපේ පොලිස් නිළධාරිනිය ඕකම අවස්ථාවක් කරගත්තා මාව නිවාස අඩස්සියේ තියාගෙන පාඩම් වැඩ කරවන්න. නංගි අනිත් යාළුවො එක්ක ගේ වටෙ දුව දුව සෙල්ලම් කරද්දි මම ගේ ඇතුලට වෙලා ගණන් හදනවා... කොහොමද දැනෙන සනීපෙ? :) ඇසින් දුටු සාක්ෂි නැති වෙලාවක උනත් 'ග්ලිසරින්' භාවිතා නොකර කඳුළු මැවීමට ඇයට තිබූ නිසර්ග හැකියාව යොදාගෙන පොලීසියත් උසාවියත් නොමග යැවීමට ඇය පසුබට උනේ නෑ. අනේ ඉතින් අහිංසක මං... මතක් වෙනකොටත් දුකයි... :(        
    
      කොහොම හරි ඉතින් කාලයත් එක්ක ඔය තත්වය තව තවත් වර්ධනය උනා මිසක් අඩුවක් නම් උනේ නෑ. දෙන්නා කතාකරන්න පටන් ගත්තොත් ඒක ඉවර උනේ වළියකින්ම තමයි. දවසක් ඔය විදියට ඇතිවුන දරුණු ගැටුමකින් පස්සේ ඉහල උසාවියෙන් මට දැඩි දඬුවම් නියම වුනා... ඒකට හේතුභූත උනේ 'අහිංසක නංගිගේ දිගු කේශ කළාපයෙන් ඇදීම සහ ඒ හේතුවෙන් ඇයට ක්ෂණිකව ඇතිවූ දරුණු හිසරදය'. අර නිසර්ග හැකියාව නිසා වැඩේට තවත් පෝර වැටුනා
       
      ඔන්න එදා තමයි මම තීරණේකට ආවේ මෙයාව හදන්න නම් රජකාලේ දඬුවම් දීලා යහරියන්නෙ නෑ බුදු කාලේ දඬුවමක් දෙන්න ඕනේ කියලා. අහලා ඇතිනේ බුදු රජාණන්වහන්සේ ඡන්න ඇමතිට පනවපු දඬුවම ගැන... ඔය 'බ්‍රහ්ම දණ්ඩනය' තමයි බූදු සසුන තුල පැනවුනු දැඩිම එහෙමත් නැත්නම් දරුණුතම දඬුවම විදියට සැළකෙන්නේ. ඉතින් මම එතන ඉඳන් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව මගේ ඒකමතික තීරණයට අනුව නගාට එරෙහිව 'බ්‍රහ්ම දණ්ඩනය' පැනෙවුවා.
       
      කිසිම කෙනෙක් විශ්වාස නොකලා වුනත් එදා ඉඳලා අවුරුදු ගාණක් ගතවෙනකනුත් මම වචනයක්වත් කතා කලේ නෑ නංගිත් එක්ක. ඒත් පස්සේ පස්සේ එයාම කතා කරන නිසා මටත් දුක හිතිලා දඬුවම ලිහිල් කරලා යාළු වෙන්න ගත්ත හැම උත්සාහයක්ම කෙළවර උනේ සුපුරුදු විදියටම යුද්ධ ප්‍රකාශ කරලා.


      " උඹ මොකටද ඔච්චර සෙකන්ඩ් වෙන්නේ? උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන් " මගේ හිතත් මට ඇඩ්වයිස් දෙන්න පටන් ගත්තා. එතනින් පස්සේ නම් අම්මයි, තාත්තයි විතරක් නෙමෙයි නැන්දලා මාමලා යාළුවෝ කොච්චර කිව්වත් මම නෙමෙයි සෙකන්ඩ් වෙන්න ගියේ. කලාතුරකින් වගේ වචනයක් දෙකක් කතා කළත් ඒකත් අවශ්‍යතාවයට විතරක් සීමා උනා.
       
      හැබැයි ඉතින් ඔය මොනදේ උනත් එයා මට අම්බානකට ආදරෙයි කියලානම් මම දැනගෙන හිටියා.. කිව්වට මොකෝ මාත් ඉතින් එහෙම තමයි :) නංගිට හැමදාම ඕනෙ උනේ මං වගේ වෙන්න, (හැම නංගි කෙනෙක්ම පොඩි කාලේ එහෙම වෙන්න ඇති සමහරවිට) මම කරන හැම වැඩේම ඒ විදියටම එයාටත් කරන්න ඕනෙ උනා. මම මොකක් හරි චිත්‍රයක් ඇන්දොත් එයත් අඳිනවා ඒකෙම ෆොටෝ කොපියක්, මොකක් හරි හැදුවොත් එයාටත් ඒකම හදන්න ඕනේ, බැරි උනොත් මම හදලා දෙන්නත් ඕනේ. මම මොකක් හරි බඩුවක් අතට ගත්තොත් එයාටත් ඒකම ඕනෙ වෙනවා ඒ වෙලාවෙම, නැති උනොත් ඉතින් වළි තමයි :)
       
      පස්සෙ කාළෙක මම කවි නිසඳැස් වගේ දේවල් ලියද්දිත් එයා ඒ ප්‍රතිපත්ති ඒ විදියටම පවත්වාගෙන ගියා. ඒක මට අහුවුනේ එයා ගෙදර නැති වෙලාවක එයාගෙ පොතක් බලන්න ගිහිල්ලා :) දැකලා පුරුදු කවි සෙට් එකක් අන්තිම පිටුවේ... හුටා, කෝ යකෝ Copy rights? චිත්‍ර නම් කොපි කළත් මොකෝ ඒත් කවි? මගේ කිසිම අවසරයක් නැතුව මගේ පොත්වලින් මගේ කවි හොරකම් කරලා මදිවට සමහර වචනත් වෙනස් කරලා.... හැබැයි ඕකට වළියක් අදින්න නම් මට එයත් එක්ක කතා කරන්න වෙනවා, අනිත් එක කෙල්ල නිර්මාණ කොපි කළාට හැකියාවකුත් නැත්තෙම නෑ... මොකද එයා දාලා තිබුන වචන මගේ වචන වලට වඩා නිර්මාණයට තිතටම ගැලපුනා. ඉතින් මම කලේ වළි අදින අදහස අතෑරලා ඒ වචන සෙට් එකත් මගේ වාග් මාලාවටම ඇතුලත් කරගෙන, මොකුත්ම දැක්කෙත් නෑ දන්නෙත් නෑ  නෑ වගේ හිටපු එක.. කොහොමද ටිකිරි මොළේ...? :)
        
      කොහොම හරි ඉතින් නිහඬව ගත වුනු අවුරුදු ගාණකට පස්සේ මම නංගිත් එක්ක හොඳින් කතා කළේ ලංකාවෙන් පිට උනාටත් පස්සේ. පවුලේ කිසිම කෙනෙක් නොදැක ගතවුනු අවුරුදු 2 1/2 කට විතර පස්සේ මගේ හිත දුකින් පිරිලා ගියේ මගේ එකම නංගි මනමාළියක් වෙන දවසේ, මට එයාව දකින්නවත්, අඩුම ගානේ දුරකථන ඇමතුමකින් සුබ පතන්නවත් අවස්ථාවක් නැති වුන නිසා. මොකද කොච්චර කතා නොකර හිටියත් කොච්චර වළි දාගත්තත් හැම අයියා කෙනෙක්ගෙම වගේ මගේ හිතෙත් ලොකු හීනයක් තිබුනා නංගිගේ Wedding එක මේ මේ විදියට කරනවා කියලා. ඒ දේවල් මට කරගන්න බැරි වුනත් ඒ හැමදේම අන්තිමට මගේ හිතේ තිබුන විදියටම සිද්ධ වෙලා තිබුනා.
         
      ඉතින් ඇගේ විවාහ මංගලෝත්සවය දිනයේ මගේ අතින් ලියැවුනු මේ පද කිහිපය තුල මම මෙතෙක් කියූ නොකියූ සම්පූර්ණ කතාවම ගැබ් වෙලා තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ.


"එපා නුඹ යළි මග බලන්නට පෝරුවේ හිඳ හොර හොරෙන්
එන්න හැකිනම් නෑ හිඳින්නේ අද දිනේ වත් නෑවිදින්
මනාළිය සේ නුඹ දකින්නට නගේ මට හිමි නෑ ඉතින්
සමාවීයන් නුඹේ අයියට ඔහුට නෑ ඒ තරම් පින්..."
                                                                     
                                                                   (25/06/09)

Thursday, March 11, 2010

මෙතෙක් හමු නොවූ ඇය....

ඈත සිතිජයෙ සැඟවිලා
හිරුත් මිලිනව යනු බලා
මගේ සිතුවිලි පා කරන්නම්
සුළං රැල්ලක දවටලා..

පුංචි තරු කැට දිළිසිලා
සඳට තනි මකනා නියා
හදේ තනිකම මැකී යා නම්
සඳක් වී ඔබ හිනැහිලා..

නේක මල් හසරැල් සලා
මා වටා සිටියත් බලා
මල් ලොවේ අග රැජිණ ඔබමයි
හිඳිමි තවමත් මග බලා..

හදේ සෙනෙහස පුරවලා
රෝස මල් පෙති අතුරලා
සත්තකයි මම බලා ඉන්නම්
එන්න හැකිනම් පියඹලා...


(05/11/09)

Monday, January 11, 2010

කාලෙකට ඉස්සර...

              මගේ ජීවිතේ ගෙවුන ලස්සනම කාලේ තමයි පාසල් ජීවිතේ අන්තිම අවුරුදු 2, කොටින්ම කිව්වොත් A/L කාලේ. ඒ කාලේ කරපු කියපු දේවල් ගැන නෙමෙයි මම දැන් කතා කරන්න යන්නේ මොකද ඒවා මෙහෙම පොඩි ලිපියකින් ලියන්න බැරි නිසා. මොකක් හරි හේතුවක් නිසා ඒ කාලෙ මගේ අතින් එක එක දේවල් ලියවුනා. මම එහෙම කියන්නෙ ගොඩක් දේවල් හිතලා කල්පනා කරලා ලියපු දේවල් නෙමෙයි නිසා.සමහරවිට හිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව සැහැල්ලුවෙන් සතුටින් හිටපු නිසා වෙන්න ඇති. දැන් ඉතින් තියෙන ප්‍රශ්නත් එක්ක ඔය කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑනෙ.
                මම මේ දැන් Upload කරන නිර්මාණ වැඩි හරියක්ම ඒ කාලේ ලියවුන දේවල්. එත් ඉතින් මතක තියෙන විදියට තමයි මේ ටිකත් ලියාගත්තේ (ලියුම් කෑල්ල ඇරෙන්න). මොකද ඕවා ලියලා ඇත්තෙ තැන් තැන් වල, (Tutes වල Hand bills වල පොත්වල අන්තිම පිටුවේ...)  ලංකාවෙ හිටියනම් හොයාගන්න තිබුනා ගොඩක් ඒවා. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැති නිසා මතක තියෙන දෙක තුනක් ලියලා දැම්මා. අම්මට කිව්වොත් නම් හොයලා එවයි, ඒ උනාට ඕවා හොයන්න ගිහින් තව මොන මොන ඒවා අම්මට මාට්ටු වේයිද කියලා Sure නැති නිසා ඒ අදහස අත ඇරලා දැම්මා. ලංකාවට ගිය දවසක ඒවා හොයලා බලන්න ඕනෙ. එතකන් ඉතින් ඉඩක් තියෙන වෙලාවක මේ පැත්තටත් ඇවිත් තියෙන දෙයක් කියවලා බලලා Comment එකක් එහෙමත් දාලම යන්න කියලා නවක Blogger කෙනෙක් විදියට හැමෝටම කරන විවාත ආරාධනාවක් මේක...... ඒ එක්කම කියන්න ඕනෙ මම "නින්ද නේන රාත්‍රියේ" දි කිව්වා අහම්බෙන් දැකපු සිංහල Blog එකක් ගැන, ඒක තමයි නොදරුවාගෙ "නිකමට වගේ" Blog එක. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි නොදරුවා..

නොයන් ළඳේ මා හැරදා...


          මේ කවිය (මට හිතෙන්නේ ඒක කවියක් කියලා) මම හිතලා ලියපු එකක් නම් නෙමෙයි, සෙනසුරාදා පාන්දරක Class යන්න Ready වෙන ගමන් නිකන්ම හිතට ඇවිත් කොල කෑල්ලක කුරුටු ගාපු වචන ටිකක්. මේක මගේ පොතක තියෙනවා දැකපු Class එකේ යාළුවෙක් කොලේක ලියාගෙනත් ගියා ගෑනු ලමයෙකුට දෙන්න කියලා, හැබැයි ඊට පස්සේ මොනවා උනාද කියලා නම් දන්නේ නෑ.


හිරු ගිලුනු අමාවක අහස් කුස කළු වෙලා
අඳුර අතරින් උනත් දැක්කෙ ඔබෙ පෙම් සිනා
යන්න නම් එපා මගෙ පෙම් සිහින බිඳ හෙලා
කඳුලු බිඳුවක් වෙලා දෙනෙත් අග පීදෙනා..


සියොත් කැල ගයන පෙම් ගී ගියත් ගොළු වෙලා
ලොව සුවඳවත් කරන මල් ගියත් පර වෙලා
හිරු ගියත් ලෝකයම අඳුරු කර හැර දමා
මා ලඟින් ඉන්න ඔබ හැමදාම හිනැහිලා...


( දිනේ හරියටම මතක නැති වුනත් 2002 වෙන්න ඕනෙ)

අහිමි වූ පෙම්වතී...

 
           මුලින්ම කියන්න ඕනෙ මෙක මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෙමෙයි. මේක ලියවුනේ මට මතක විදියට class එකක ඉන්න ගමන් අතේ තිබුන පොඩි hand bill එකක. මේක කවියක්ද නිසඳැසක්ද එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ලියුමක්ද කියලා මම දන්නේ නෑ. මේක මොන හේතුවකට ලිව්වද කියලත් මම දන්නෙ නෑ. ඔයාලම කියවලා බලන්නකෝ...


යා මාව මේ ලෝකෙ තනි කරලා අතරමං කරලා ගියාට, මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ. ඔයාට වෛර කරන්න තියා එහෙම හිතන්නවත් මට බෑ.
ඔයා මාව ඇඬෙව්වත් මට මොන තරම් රිද්දුවත්, මං විඳපු ඒ හැම දුකක්ම හැම වේදනාවක්ම ඔයාටත් ලබා දෙන්න කියලා මං දෙවියන්ට කියන්නෙ නෑ. ඔයාට මේ තරම් ආදරේ කරපු, ආදරේ පිරිලා තිබුන හිතකින් මං කොහොමද එහෙම කරන්නේ.. මගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු ඔයාට මං කොහොමද වෛර කරන්නෙ, මගෙ හිත එච්චර දරුණු නෑ.


දා මං දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඔයාට කවදාවත් දුකක් වෙන්න එපා කියලා, හැමදාම සතුටින් තියන්න කියලා. අදත් මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ඔයා මට දීපු මේ දුක වේදනාව ඔයාට නම් කවදාවත්ම ලැබෙන්න එපා කියලා.
එදා අපි කොච්චර සතුටින්ද හිටියේ.. ලස්සන ලස්සන තැන්වල ඇවිදින්න ගිය හැටි, අපි කතා කරපු දේවල්, අපේ අනාගතේ ගැන ඔයා කියපු දේවල්.. මෙච්චර ඉක්මනට ඔයාට අමතක වුනේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ. මගේ හිතේ නම් ඒවා සදාකාලික මතකයන් විදියට රැඳිලා තියේවි, පුර හඳ නැතුව පාළුවට ගිය මගේ හිත් අහසෙ තරු රටා අතර සුදු පාටට දිළිසෙන 'සීරියස්' තාරකාව වගේ ඒ මතකයන් බැබළේවි.


දරේ කියන්නේ කවදාවත් වෙනස් වෙන විනාශවෙන දෙයක් නෙමෙයි, ආදරේ සදාකාලිකයි. මං ඔයාට දීපු ආදරෙත් එහෙමමයි. ඔයාව මට ලබාගන්න බැරි උනාට , ඔයා මගේ අහිංසක හිත බිඳලා දැම්මට මගේ ආදරේ වෙනසක් නෑ, ඒක අයිති ඔයාටයි.. ඔයාට විතරමයි.යාළුවො මට හිනාවෙනවා.. "එක මාළුවද බන් මූදෙ ඉන්නේ?" උන් හැමෝම කිව්වෙ එහෙමයි. ඒත් මගේ හිත ගත්ත මාළුවා නැතුව වෙන මාළු කොච්චර හිටියත් මට වැඩක් නෑ.
ආදරේ සුන්දරයි.. කව්දෝ පණ්ඩිතයෙක් එහෙම කියලා තිබුනා මට මතකයි. මාත් ඒ කාලෙ හැමෝටම කිව්වෙ එහෙම තමයි. ඒකෙ ඇත්තකුත් නතුවාම නෙවෙයි, ඒත් 'ආදරේ සුන්දර වරදක්' කියන එක ඊට වඩා කොච්චර ගැලපෙනවද කියලා මට දැන් තේරෙනවා.


මේ ආත්මෙදි ඔයාව මට හිමි නැතුව ඇති, ඒත් තව ආත්ම හතකදිවත් මගෙ හිතේ ඔයාට දීපු තැන වෙන කෙනෙකුට ඉඩ නෑ. වෙන කාටවත් එතෙන්ට එන්නත් බෑ. ඒ තැන අයිති ඔයාට විතරයි.
මේ ආත්මෙදි ඔයාගෙ හිමිකාරයා වෙන කෙනෙක් වෙන්න ඇති, ඒ කවුද කියලා මම දන්න නෑ. මම ඒක හොයන්නෙත් නෑ.


වුනාට ඊළඟ ආත්මෙදි නම් එයාට ලං වෙන්නවත් බෑ. මං ඔයාගෙ මතක හිතේ පුරවගෙන, මේ දුක හිතේ තදකරගෙන මේ ආත්මෙ ගෙවාගන්නම්.. හැබැයි ඊළඟ ආත්මේ.....

ඒ ආත්මෙදි නම් ඔයා මගේ... මගේ විතරමයි........


(30/04/2002)

අසම්මතයේ පෙම් කතාවක්...

        

    ලියපු දවසත් එක්ක බලද්දි මේකත් ඉතින් හීනයක්ම තමයි...

සිටිය කල පාළුවෙන්
මගේ සිත දවි දෑවී
ඔබයි මා සිත් අහස
එකළු කල සඳවතී..


දැන් සිතම සිත්තමකි
ඔබේ රුව ඇඳි ඇඳී
මකන්නට තියා මට
සිතන්නට වත් බැරී..


ලෝකයම බලන මුත්
අප දෙසට එබි එබී
අසම්මත පෙමක් යැයි
කියනමුත් යලි යලී..


ඔබ සිටී නම් ලඟින්
මා නෙතට පෙනි පෙනී
ඉන් එහා ලෝකයක්
කිසි දිනෙක මට නැතී..


එක් වෙන්න නොහැකි මුත්
රන් හුයෙන් අත් බැඳී
ඔබ මගෙයි මා ඔබෙයි
සදාකල් හද බැඳී....


(05/10/2005)