"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Thursday, March 25, 2010

මේ ඇයගේ කතාවයි...




     වෙනත් සහෝදර සහෝදරියන් නොසිටීමත් වයස් පරතරය ඉතා කුඩා වීමත් හේතුවෙන් කුඩා කළ ඇය මගේ හොඳම සහ එකම මිතුරිය බවට පත් වුවත් පසු කාලීනව ඇගේ හැසිරීම් රටාව මා ඇගෙන් තරමක් දුරස් කර තබන්නට සමත් උනා. මේ ඇයගේ කතාවයි...
    
      නංගි හැදිලා තියෙන්නේ ලෝකෙ තියෙන තරමක් සැර මිරිස් ජාති ඔක්කොම එකතු වෙලා කියලයි මම ඒ කාලෙ හිතුවේ. කොටින්ම කිව්වොත් එයාට තිබුනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ජාතියේ ලෙඩක්.  පොඩ්ඩ එහා මෙහා වුනොත් Sorryම තමයි. "නයි කයිද රෝස් පාන්" කිව්වලු..., අපි බය වෙයිද ඕවට... එයාගෙම අයියනෙ ඉතින් මම...
    
      මට ඒ දවස්වල තිබුන ජොලිම වැඩේ තමයි මෙයාව අවුස්සන එක. අම්මා කියනවා වගේ මෙයා ඉතින් කොයි වෙලෙත් පෙනේ පුප්ප ගත්ත ගමන්මයි. හැබැයි අවුලකට තියෙන්නේ පෙනේ පුප්පලා විතරක් නතර නොවී දරුණු විදියට දෂ්ඨ කරන්නත් පටන් ගන්න එක. ඒ වෙලාවට අතට අහුවෙන ඕනෙම weapon එකක් මට විරුද්ධව භාවිතා කරන්න කිසිම පැකිළීමක් නෑ. ඔය අවි ගබඩාවෙ පිහි, බෝතල් කටු, පිඟන් කෑලි, කළු ගල්, ගඩොල් වගේ හරිම සුමුදු සුසිනිඳු දේවලුත් නැති උනේ නෑ. මමත් ඉතින් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වලා ප්‍රති ප්‍රහාර එල්ළ කරන කොටම තමයි හැමදාම පොලිසියෙන් කඩා පනින්නේ.
     
      කොහේද ඉතින් මේ අන්ධ නීතියත් එක්ක මොකුත්ම කරන්න බෑනෙ, පොලිසියෙ ඇසින් දුටු සාක්ෂි අනුව පැහැදිළිවම වැරදිකාරයා මම නිසා හැමදාම මටම තමයි කූරු ගණන් කරන්න සිද්ධ වුනේ. ඒ විතරක්යැ ශිෂ්‍යත්ව විභාගෙ ළං වෙද්දි අපේ පොලිස් නිළධාරිනිය ඕකම අවස්ථාවක් කරගත්තා මාව නිවාස අඩස්සියේ තියාගෙන පාඩම් වැඩ කරවන්න. නංගි අනිත් යාළුවො එක්ක ගේ වටෙ දුව දුව සෙල්ලම් කරද්දි මම ගේ ඇතුලට වෙලා ගණන් හදනවා... කොහොමද දැනෙන සනීපෙ? :) ඇසින් දුටු සාක්ෂි නැති වෙලාවක උනත් 'ග්ලිසරින්' භාවිතා නොකර කඳුළු මැවීමට ඇයට තිබූ නිසර්ග හැකියාව යොදාගෙන පොලීසියත් උසාවියත් නොමග යැවීමට ඇය පසුබට උනේ නෑ. අනේ ඉතින් අහිංසක මං... මතක් වෙනකොටත් දුකයි... :(        
    
      කොහොම හරි ඉතින් කාලයත් එක්ක ඔය තත්වය තව තවත් වර්ධනය උනා මිසක් අඩුවක් නම් උනේ නෑ. දෙන්නා කතාකරන්න පටන් ගත්තොත් ඒක ඉවර උනේ වළියකින්ම තමයි. දවසක් ඔය විදියට ඇතිවුන දරුණු ගැටුමකින් පස්සේ ඉහල උසාවියෙන් මට දැඩි දඬුවම් නියම වුනා... ඒකට හේතුභූත උනේ 'අහිංසක නංගිගේ දිගු කේශ කළාපයෙන් ඇදීම සහ ඒ හේතුවෙන් ඇයට ක්ෂණිකව ඇතිවූ දරුණු හිසරදය'. අර නිසර්ග හැකියාව නිසා වැඩේට තවත් පෝර වැටුනා
       
      ඔන්න එදා තමයි මම තීරණේකට ආවේ මෙයාව හදන්න නම් රජකාලේ දඬුවම් දීලා යහරියන්නෙ නෑ බුදු කාලේ දඬුවමක් දෙන්න ඕනේ කියලා. අහලා ඇතිනේ බුදු රජාණන්වහන්සේ ඡන්න ඇමතිට පනවපු දඬුවම ගැන... ඔය 'බ්‍රහ්ම දණ්ඩනය' තමයි බූදු සසුන තුල පැනවුනු දැඩිම එහෙමත් නැත්නම් දරුණුතම දඬුවම විදියට සැළකෙන්නේ. ඉතින් මම එතන ඉඳන් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව මගේ ඒකමතික තීරණයට අනුව නගාට එරෙහිව 'බ්‍රහ්ම දණ්ඩනය' පැනෙවුවා.
       
      කිසිම කෙනෙක් විශ්වාස නොකලා වුනත් එදා ඉඳලා අවුරුදු ගාණක් ගතවෙනකනුත් මම වචනයක්වත් කතා කලේ නෑ නංගිත් එක්ක. ඒත් පස්සේ පස්සේ එයාම කතා කරන නිසා මටත් දුක හිතිලා දඬුවම ලිහිල් කරලා යාළු වෙන්න ගත්ත හැම උත්සාහයක්ම කෙළවර උනේ සුපුරුදු විදියටම යුද්ධ ප්‍රකාශ කරලා.


      " උඹ මොකටද ඔච්චර සෙකන්ඩ් වෙන්නේ? උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන් " මගේ හිතත් මට ඇඩ්වයිස් දෙන්න පටන් ගත්තා. එතනින් පස්සේ නම් අම්මයි, තාත්තයි විතරක් නෙමෙයි නැන්දලා මාමලා යාළුවෝ කොච්චර කිව්වත් මම නෙමෙයි සෙකන්ඩ් වෙන්න ගියේ. කලාතුරකින් වගේ වචනයක් දෙකක් කතා කළත් ඒකත් අවශ්‍යතාවයට විතරක් සීමා උනා.
       
      හැබැයි ඉතින් ඔය මොනදේ උනත් එයා මට අම්බානකට ආදරෙයි කියලානම් මම දැනගෙන හිටියා.. කිව්වට මොකෝ මාත් ඉතින් එහෙම තමයි :) නංගිට හැමදාම ඕනෙ උනේ මං වගේ වෙන්න, (හැම නංගි කෙනෙක්ම පොඩි කාලේ එහෙම වෙන්න ඇති සමහරවිට) මම කරන හැම වැඩේම ඒ විදියටම එයාටත් කරන්න ඕනෙ උනා. මම මොකක් හරි චිත්‍රයක් ඇන්දොත් එයත් අඳිනවා ඒකෙම ෆොටෝ කොපියක්, මොකක් හරි හැදුවොත් එයාටත් ඒකම හදන්න ඕනේ, බැරි උනොත් මම හදලා දෙන්නත් ඕනේ. මම මොකක් හරි බඩුවක් අතට ගත්තොත් එයාටත් ඒකම ඕනෙ වෙනවා ඒ වෙලාවෙම, නැති උනොත් ඉතින් වළි තමයි :)
       
      පස්සෙ කාළෙක මම කවි නිසඳැස් වගේ දේවල් ලියද්දිත් එයා ඒ ප්‍රතිපත්ති ඒ විදියටම පවත්වාගෙන ගියා. ඒක මට අහුවුනේ එයා ගෙදර නැති වෙලාවක එයාගෙ පොතක් බලන්න ගිහිල්ලා :) දැකලා පුරුදු කවි සෙට් එකක් අන්තිම පිටුවේ... හුටා, කෝ යකෝ Copy rights? චිත්‍ර නම් කොපි කළත් මොකෝ ඒත් කවි? මගේ කිසිම අවසරයක් නැතුව මගේ පොත්වලින් මගේ කවි හොරකම් කරලා මදිවට සමහර වචනත් වෙනස් කරලා.... හැබැයි ඕකට වළියක් අදින්න නම් මට එයත් එක්ක කතා කරන්න වෙනවා, අනිත් එක කෙල්ල නිර්මාණ කොපි කළාට හැකියාවකුත් නැත්තෙම නෑ... මොකද එයා දාලා තිබුන වචන මගේ වචන වලට වඩා නිර්මාණයට තිතටම ගැලපුනා. ඉතින් මම කලේ වළි අදින අදහස අතෑරලා ඒ වචන සෙට් එකත් මගේ වාග් මාලාවටම ඇතුලත් කරගෙන, මොකුත්ම දැක්කෙත් නෑ දන්නෙත් නෑ  නෑ වගේ හිටපු එක.. කොහොමද ටිකිරි මොළේ...? :)
        
      කොහොම හරි ඉතින් නිහඬව ගත වුනු අවුරුදු ගාණකට පස්සේ මම නංගිත් එක්ක හොඳින් කතා කළේ ලංකාවෙන් පිට උනාටත් පස්සේ. පවුලේ කිසිම කෙනෙක් නොදැක ගතවුනු අවුරුදු 2 1/2 කට විතර පස්සේ මගේ හිත දුකින් පිරිලා ගියේ මගේ එකම නංගි මනමාළියක් වෙන දවසේ, මට එයාව දකින්නවත්, අඩුම ගානේ දුරකථන ඇමතුමකින් සුබ පතන්නවත් අවස්ථාවක් නැති වුන නිසා. මොකද කොච්චර කතා නොකර හිටියත් කොච්චර වළි දාගත්තත් හැම අයියා කෙනෙක්ගෙම වගේ මගේ හිතෙත් ලොකු හීනයක් තිබුනා නංගිගේ Wedding එක මේ මේ විදියට කරනවා කියලා. ඒ දේවල් මට කරගන්න බැරි වුනත් ඒ හැමදේම අන්තිමට මගේ හිතේ තිබුන විදියටම සිද්ධ වෙලා තිබුනා.
         
      ඉතින් ඇගේ විවාහ මංගලෝත්සවය දිනයේ මගේ අතින් ලියැවුනු මේ පද කිහිපය තුල මම මෙතෙක් කියූ නොකියූ සම්පූර්ණ කතාවම ගැබ් වෙලා තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ.


"එපා නුඹ යළි මග බලන්නට පෝරුවේ හිඳ හොර හොරෙන්
එන්න හැකිනම් නෑ හිඳින්නේ අද දිනේ වත් නෑවිදින්
මනාළිය සේ නුඹ දකින්නට නගේ මට හිමි නෑ ඉතින්
සමාවීයන් නුඹේ අයියට ඔහුට නෑ ඒ තරම් පින්..."
                                                                     
                                                                   (25/06/09)

37 ප්‍රතිචාර:

තරිඳු said...

ඇස් දෙකට කඳුලුත් ආව සහෝ...

said...

ඉතින් මචන් උඹේ නංගිගේ අළුත් ජීවිතේට අපෙන් උණුසුම් සුභ පැතුම්!!!
චියර්ස්ස්ස්ස්ස්!!!!!
එයත් බ්ලොග් ලියනවද? :-D

නිශාචරයා Nishacharaya said...

@ තරිඳු,
ස්තූතියි සහෝ මේ පැත්තේ ඇවිත් යන්න ආවට... දිනපොතත් ඉක්මනට ලියමු නේද? :)

@ ම,
නංගි බ්ලොග් ලියන්නෙ නෑ මචන් දන්න තරමින් නම්, හැබැයි මොකක් හරි අනවර්ථ නමකින් ලියනවද කියලා නම් මම දන්නෙ නෑ :D ස්තූතියි සුබ පැතුමට සහෝ.. අළුත් ජීවිතේ හොඳට ගෙනියනවා කියලා තමයි ආරංචි... :D

හා පැටික්කි (MS) said...

අයියල නංගිල ඉන්න හැම ගෙදරම එකම රෙකෝඩින්ග් එකනෙ යන්නෙ බැලුවම......

හෙළයා said...

කණගාටුයි සිදුවීම ගැන.
ඒත් මගෙනුත් සුබ පැතුම් පිලිගන්න...

නිශාචරයා Nishacharaya said...

@ හා පැටික්කි,
ඒ කියන්නේ හා පැටික්කිත් උක්කුන් බෝලෙත් එක්ක වළිද හැමදාම? :D

@ හෙළයා,
ස්තූතියි මචන් සුබ පැතුමට...

Siribiris said...

ෂා. හරිම ලස්සන කවිය. ඔයා හරි, මුලු කථාවම ඒ පොඩි කවියෙ තියනවා. කථාවත් නියමයි. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තාට.

BEAUTIFUL SRI LANKA said...

මමත් නංගිත් එක්ක ඔය වගේ තමයි පොඩිකාලෙ නම්, ඒ කාලෙ ආයෙමත් මට මතක් උනා , ඔබට ස්තුතියි ඒකට

නිශාචරයා Nishacharaya said...

@ සිරිබිරිස් සහ සංජීව්,
බොහොමත්ම ස්තූතියි ලබාදුන් දිරිගැන්වීම වෙනුවෙන්. ඔබේ සුන්දර අතීතය යළි සිහිපත් කරවීමට මෙය හේතු වූවානම් එයයි මගේත් සතුට.... ඔබට ජය..

හා පැටික්කි (MS) said...

ඔව් නේ....
ඔයාගෙ පූසා හරිම ෂෝක්... හා පැටික්කිට ගොඩා....ක් ආස හිතුනා.... ටිකක් සෙල්ලම් කරා..... :D (හා පැටික්කිට සතෙක් දැක්කොත් ඉවරයි...)

නිශාචරයා Nishacharaya said...

එහෙනම් ඉතින් හා පැටික්කි පුළු පුළුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න, කිටියා ටත් පාළු ඇතිනේ.... :D

හා පැටික්කි (MS) said...

අනේ ඇත්තමයි අයියේ මං කිටියව ගෙනියනව ඔය පාර.....
එයා හරිම ෂෝ......ක්....

නිශාචරයා Nishacharaya said...

කිටියත් එක්ක සෙල්ලම් කලාට නම් කමක් නෑ නංගෝ.. හැබැයි ගෙනියන්න නම් ඔට්ටු නෑ හරිද? :D

Kathandara said...

ඇයි මනුස්සයෝ ඉතිං මගුල් ගෙදරට ආවෙ නැත්තෙ?

නිශාචරයා Nishacharaya said...

@ කතන්දර කාරයා,
ඒක නම් දිග කතාවක් කතන්දර මිත්‍රයා, අන්තිම මොහොත වෙනකන්ම උත්සාහ කළත්, ඒ අවස්ථාවේ රටින් පිටවීමට නොහැකි අන්දමේ නීතිමය ගැටළුවක් උද්ගතවීම සහ තවත් පෞද්ගලික ප්‍රශ්න කීපයක්ම නිසා ඒ අදහස අත්හැර දමන්නට සිදු වුනා.

තිස්ස දොඩන්ගොඩ said...

ඔබ තවමත් මේ දේ අවබෝධ කලාද නොකලාද කියලා මං දන්නේ නෑ... මට මගේ එක් කුස වෙන නංගිලා නම් නෑ... නාවලා, කවලා, පරිස්සම් කරලා සරණ පාවා දීලා, ඊට පස්සෙත් සොයාබලන්න, නංගියෙක් හරි මල්ලියෙක් හරි නොහිටිය එක මගේ ජීවිතයේ ලොකූ අඩුවක්... ඔබ වටිනා අවස්ථාවක් මගහැරියා...ඇයගේ යටිහිතේ වීරයා ඔබ බව, ඔබට නොදැනුනේ මන්ද සොයුර... ? ඇය ඔබව අනුගමනය කරන්න හැම අවස්ථාවේදීම බැලුවේ ඒ නිසා නොවෙද...?
අර කතන්දර කාරයා අහපු සර්ව සාධාරණ ප්‍රස්නෙම මටත් අහන්න හිතුනා... දැන්වත් ඇයව බලන්න ගොහින් ආදරයෙන් වැලඳ ගත්තානම් නරකද...?

නිශාචරයා Nishacharaya said...

@ තිස්ස දොඩන්ගොඩ,
සාදරයෙන් පිළිගන්නවා සිහින අඩවියට.. ඔබට එක් කුස උපන් නංගිලා නැති උනාට තිස්ස අයියේ ඔබට වැඩිමහල් සහෝදරයෙකුට මෙන් සළකන නංගිලා සයිබර් අවකාශයේ ඉන්නවා නේද?
ඔබේ කතාව 200%ක් නිවැරදියි. ඒත් අන්තර්ජාතික ශිෂ්‍යයෙක් විදියට මේ වගේ රටක ජීවත් වෙනකොට හිතෙන හිතෙන වෙලාවට රටින් පිටවීමටත් ඇතුළු වීමටත් හැකියාවක් නෑ සහෝදරයා. එපමණක් නොවෙයි ඒ අවස්ථාවේ ගමන් වියදම් සඳහා එතරම් මුදලක් වැය කිරීමට මට කිසිසේත්ම හැකියාවක් තිබුනේ නෑ. කොටින්ම මගේ සමහර මිතුරන් තමන්ගේ ආදරණීය පියාණන්ගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය නොහැකි වීමට තරම් අවාසනාවන්ත වනවිට විවාහයක් ගැන කුමන කතාද? කෙසේ වෙතත් තිස්ස අයියේ මම මේ දේවල් කිව්වේ ඔබට සහ කතන්දරකාරයාට මතු වූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පමණයි, ඔබ ජීවත්වන පරිසරයත් මා ජීවත්වන පරිසරයත් එකිනෙකට සම්පූර්ණ වශයෙන්ම වෙනස්, ඉතින් ඒ ඒ තත්වයන් ඒ ආකාරයෙන්ම වටහා ගැනීම කළ නොහැක්කක් ලෙසයි මා දකින්නේ. නමුත් මා සිටි(න) අවස්ථාවේ ඔබ සිටියානම් නිසැකවම ඔබ ගන්නා තීරණයද එයම වනු ඇති.

තිස්ස දොඩන්ගොඩ said...

ඇත්ත මලේ ඇත්ත... වචනත් එක්ක පොරබදනවා වාගේ ලේසි නෑ ප්‍රායෝගික ජීවිතය... මගෙ මස්සිනාටත් ඔබ කී දේම වුනා... ඔහුට එන්න බැරිවුනා පියාගේ මලගමට... මට තේරෙනවා... මම කිව්වේ පුලුවන් ඉස්සෙල්ලම මොහොතේ ගිහින් සුභපතන්න කියායි ඇයව වැලඳගෙන...

නිශාචරයා Nishacharaya said...

ඒකට නම් කවදා අවස්ථාවක් උදාවේවිද කියලා තවම හිතාගන්න බෑ... බලමු නේද.. කාලය හැමදේම විසඳයි හොඳ විදියකට.

මගේ ජීවිතය said...

හ්ම්ම් හරිම සංවේදී සටහනක්.

"ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වලා ප්‍රති ප්‍රහාර එල්ළ කරන කොටම තමයි හැමදාම පොලිසියෙන් කඩා පනින්නේ."

:D නියම කතාවක්! ඒකනම් එහෙමම තමයි හෙහ් හෙහ්!

නිශාචරයා Nishacharaya said...

@ මගේ ජීවිතය,
ස්තූතියි සහෝදරී මේ පැත්තෙ ඇවිත් යන්න ආවට... මට පේන්නෙ ඔයාටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා වගේ නේද..? :D

piccolina said...

දැන්වත් ඔයාගෙ නංගිට කතා කරන්න...
නෑත්නන් පසුවටත් පසුතැවිලි වෙයි.

නිශාචරයා Nishacharaya said...

@ මධු,
දැන් නම් කතාකරනවා, ඒත් ඉතින් phone එකෙන් විතරනේ...

Ansh Lucky Sri Jay said...

සංවේදී සටහනක්.
මගෙනුත් සුබ පැතුම් පිලිගන්න...

නිශාචරයා Nishacharaya said...

@ Ansh,
සාදරයෙන් පිළිගන්නවා සිහින අඩවියට, අලුත් අවුරුදු සුබ පැතුමක් එක්කම....

Ansh Lucky Sri Jay said...

ස්තූතියි. සුභ පතනවා අවුරුද්දට.
:)

මනියා said...

ඔයා ලOකාවට එනකොට ඔයාව එක්කන් යන්න නOගිට එන්න කියන්න....

නිශාචරයා Nishacharaya said...

@ මනිෂ ,
කිව්වොත්නම් එයි තමයි එත් මම හිතන් ඉන්නේ නොකියම යන්න එතකොට surprise නේ.. ස්තූතියි මල්ලි ඇවිත් යන්න ආවට මේ පැත්තේ.

nimanthi said...

මට නම් අයියලා මල්ලිලා නැහැ.
ඒත් ඇයි මේ තරම්ම තරහක් කියලා මට හිතා ගන්න බැහැ.ඔයා ලංකාවෙන් යන දවසෙවත් එයා කථා කලේ නැද්ද??????.Phone එකෙන් උනත් කථා කරන්න, මේ කවිය එයාට ලියලා යවන්න.මම නම් හිතන්නේ එයා දුක් වෙයි එයා කරපු දේවල් ගැන
නංගීට සුභ පැතුම්..!!!!!!!!!!

නිශාචරයා Nishacharaya said...

@ Nimanthi,
ආදරේ වැඩි උනාම තමයි ඔච්චර තරහ යන්නෙත්.. ඒක ලෝක සත්‍යයක් මම හිතන්නේ. ආදරයයි වෛරයයි වෙන් වෙලා තියෙන්නෙ බොහොම සියුම් පටලයකින් කියනවනේ... :)
එයා ඒ ගැන ගොඩක් දුක් වෙන බව මම දන්නවා ඒ නිසයි මම දැන් කතා කරන්නේ.
කවිය මම එයාට යැවුවා Wedding එකට යවපු present එකත් එක්ක...
ස්තූතියි සුභ පැතුමටත්, සිහින අඩවියට ගොඩ වුනාටත්...

අනුරාධ said...

බොරුවක් නෙවෙයි දෙයියම්පා ඇත්ත මචෝ. එක්තරා හේතුවක් මත මන් 2005 ඉඳන් අද වෙනතුරුත් මගේ නංගිත් එක්ක වචන 100කට වඩා කතා කරලා නෑ. මුලදිනම් කතාකලෙම නෑ. ඒ පස්සෙ පස්සෙ අවශ්‍යම දේකදි විතරක් කත කලා. ඒත් වචනයයි දෙකයි. විශේෂයෙන්ම විධාන දෙන්න තමයි කතා කලේ. දැනටත් එහෙමයි. නංගි උනත් මට කියන්න ඕන දෙයක් කෙලින්ම මට කියන්නෙ නෑ. අම්මට කියන්නෙ මට කියන්න කියලා. මොකද එයා දන්නව මන් එයා එක්ක කතා කරන්නෙ නැ කියලා. ඉස්සර මන් මගේ හැම දෙයක්ම කරව ගන්නෙ එයාට කියලා. බෑ බෑ කිය කිය අඬල අඬල උනත් කරල දෙනවා අන්තිමේ. කොටින්ම මන් ශෝක් එකේ වාඩි වෙලා ඉඳගෙන කුස්සියට යවල වතුර එකක් ගෙන්න ගන්නෙ පවා එයාට කියලා. එහෙම හිටපු මම අද ඉන්න හැටි ගැන මටම පුදුමයි. ආදරේ නැතුව නෙවෙයි. ඒත් අනේ මන්දා. එයා ගැන හොයල බලනවා. අවශ්‍ය ඕනම දෙයක් තියෙනවනම් කරල දෙනවා. ඒත් කතා කරන්නෙ නෑ.
නමුත් අද උඹේ මේ ලිපිය කියෙව්වහම මට මන් ගැනම ලොකු කල කිරීමක් ඇති උනා. පරණ ප්‍රශ්ණ සේරම අද ඉඳන් ඉවරයි. ඊලඟ වීක් එන්ඩ් එකේ ගෙදර ගියාම ඉස්සර විදියටම එයත් එක්ක කතා කරනවා. ඉස්සර හිටපු, පොඩි දෙටත් රන්ඩු කරගෙන අයෙ ඊලඟ මොහොතේ කෑ ගගහ හිනා වෙවී විහිලු කරගත්ත අයියටයි නංගිටයි ආපහු ජීවය දෙනවා. සත්තයි. මේක ලියද්දි මගේ ඇස් තෙත් උනා මචන්. උඹට ස්තූතියි. උඹ මගේ ජීවිතේට ලොකු උදව්වක් කලේ. නැත්නම් පස්සෙ කාලෙක මට අඬන්න වෙයි. කෑ ගගහා. ඒත් කාලය ආයෙ ආපස්සට එන එකක් නෑ.

අනුරාධ said...

උඹෙ නංගිගේ විවාහ ජීවිතේට මන් මගේ මුලු හදවතින්ම සුභ පතනවා මචන්.

නිශාචරයා Nishacharaya said...

@ අනුරාධ,
උඹත් මගේ බෝට්ටුවෙමයි එහෙනම්... :)
මටත් පුදුම සතුටක් දැනුනා උඹ ආයේ ගිහින් කතා කරනවා කිව්වම.. මගේ කතාව ලියපු එකෙන් හොඳක් උනා කියලා දැන් මට සතුටු වෙන්න පුළුවන්... :)
නියමයි මචන්, ගිහින් ඇවිත් අපිටත් කියපන් විස්තර... ස්තූතියි සුභ පැතුමට...!!!

අනුරාධ said...

මචන් මම ඊයෙ ගෙදර ගියා. අවුරුදු ගානකට පස්සෙ නංගි එක්ක හොඳට හිනා වෙලා චුට්ටක් කතා කලා. ගොඩක් කල් කතා නොකර හිටපු නිසා එක පාරටම වෙනස් වෙන්න ටිකක් අමාරුයි. නමුත් ඒකෙ පලවෙනි පියවර තිබ්බ. හිතට මාර නිදහසක් දැනෙනව මචන්. ඔලුවෙ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ. උඹට අයෙත් පාරක් ස්තූතියි.

නිශාචරයා Nishacharaya said...

@ අනුරාධ,
ඇත්ත මචන් එක පාරට වෙනස් වෙන එක ගොඩක් අමාරුයි.. ටික ටික හරි ආයෙත් පරණ අයියම වෙන්න බලපන්... උඹට ජය...!!!

..ChAnDiKa.. said...

මට මගේම කියල නංගි කෙනෙක් නැති එක ගැන මං තාමත් දුක් වෙනව. රණ්ඩු වෙන්න හරි හිටියනම්. :) හරිම සංවේදී ලිපියක්. ලංකාවට ගියගමන් නංගිව බලන්න යන්න මචෝ...

නිශාචරයා Nishacharaya said...

@ ..ChAnDiKa..,
මචන් උඹේ කතාව මම ටිකක් කියවලා තියෙන නිසා මට උඹේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් කියලා හිතෙනවා.
අපි තියෙන දේවල් ගැන සතුටු වෙනවා වෙනුවට ගොඩක් වෙලාවට කරන්නේ නැති දේවල් ගැන දුක් වෙන එක. ඒ වගේම අපිට ලැබිලා තියෙන දේවල්වල වටිනාකම අපි තේරුම් ගන්නෙ බොහෝවිට ඒ දේවල් අපෙන් ගොඩක් ඈත් උනාම. ඒ අපේ මිනිස් ගතිය මචන් :) බලපන් උඹට ආදරේ කරන්න නංගෙක් ලැබිලා තියෙනවා ඒ ගැන සතුටු වෙයන්.. සුභ පැතුම් මිත්‍රයා...!!!

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....