"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Friday, May 21, 2010

කවි මඩුවක වග 09 හෙවත් අවසානය...


දින ගණනක් පුරා එක්වී කවි ගෙතුව
මුළු කවි මඩුව රස ආකරයක් කෙරුව
ඔබ හැමදෙනාටම හද පතුලෙන් මතුව
එන සුභ පැතුම් පතනෙමි අහිතක් නැතුව...

කවි මඩුවක් තනා කවි සිත් සනසන්න
පෙරමුණ ගත්ත සැමටම තුති පුදමින්න
මේ බැඳි මිතුරු දම් සදහට පවතින්න
පැතුමක් තියා මම සමුගෙන යමි ඔන්න...




මේ විදියට සමාප්ති සටහනක් තියලා මට කවි මඩුවෙන් කලින්ම සමුගන්න සිද්ධ වුනු නිසා මගේ මඩ ව්‍යාපාරයත් එතනින්ම නැවතුනා. කවි මඩුවේ මගේ කෙරුම් කවි 110කට සීමා වුනත් එය මම මගේ ජීවිතය තුල ලියූ වැඩිම කවි ප්‍රමාණය ලෙස පෞද්ගළික වාර්තාවක් මට හිමිකර දුන්නා. :D එයිනුත් වැඩිම ප්‍රමාණයක් (39 ක්) ලියා තිබුනේ අවසන් දිනය තුල. 110ක් ලියලා මූ කියවන තරමක් නේද... :P


ඇත්තටම මට කරන්න අවශ්‍ය වුනේ මං ගැනම පුංචි පරීක්ෂණයක්. මම සාමාන්‍යයෙන් එක දෙයක් එක දිගටම කරගෙන යන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි. කරන කරන හැම වැඩේම බාගෙට... බ්ලොග් ලියවෙන්නෙත් කලාතුරකින්, මෙහෙම ගිහින් ඒකත් නැවතිලාම යයිද මන්දා... :(


යන්තම් කොහොම හරි පද හතරක් ගැට ගහගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා කවි මඩුවට අයැදුම් කළත් කවියෙන් වාද කරන්න පුළුවන් වෙයිද කියලා සැකයකුත් තිබුනා. ඒ වගේම කවි මඩුව පැවැත්වුනු වෙලාවත් එක්ක මට ඒ හා රැඳී ඉන්න තිබුනු කාලයත් ඉතා සීමිත වුනා. නමුත් නොහිතපු විදියට මම කවියට ඇබ්බැහි වුනු නිසා කඩින් කඩ වුනත් අතරමග නොනැවතී අවසානය තෙක් ඒ හා රැඳී සිටීමට හැකි වුනා. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔය ලියපු පුංචි කවි 110 මට විශේෂ කාරණයක් බවට පත් වෙන්නේ.


ඒ වගේම අතීත කවි මඩුවල අසන්නට ලැබුණු එළිසම සහිත, පද හතරේ කවිය පුළුවන් තරම් කවි මඩුව තුලදී භාවිතා කරන්න මම පුංචි උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ සාර්ථක අසාර්ථක බව තීරණය කිරීම පාඨක ඔබට බාරයි....
ඒ එක්කම මට වඩා සාර්ථකව ඒ කාර්යයේ නිරත වෙමින් මගේ ප්‍රියතම කවියා බවට පත් වූ 'අනුරාධ' සොයුරාට මගේ උණුසුම්  සුභ පැතුම්.


අවසාන වශයෙන් මා හා නිතරම වාදයට පැටළුනු වැප් සොයුරාටත් දිල්, හිපෝ සහ පබලු සොයුරියන්ටත් අදහස ඉදිරිපත් කළ ගීත් සොයුරාට සහ එම අදහස සාර්ථකව ක්‍රියාවට නැංවූ 'ලාංකීය සිතුවිලි' මිතුරු කැළටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නම් සඳහන් නොකළත් කවි මඩුව සාර්ථක කිරීමටත් එය සුන්දර හා රසවත් කිරීමටත් එක් වූ කවියට පෙම් බැඳි සියළුම සොයුරු සොයුරියන් සිහිපත් කරමින් ඔන්න මම නිළ වශයෙන්ම කවි මඩුවෙන් සමුගන්නවා....
ඔබ සැමට කවි බර හෙටක්.......!!!

ආ සැම දෙනට කියවන්නට මගෙ බයිලා
පුදනව ස්තුතිය හදවත දිග ඇරලා
ඔබ සැම මිතුරන්ය සැමදා ඇති රැඳිලා
මගෙ දොර අගුළු ඇත ඔබ සැමටම ඇරිලා...


ප.ලි.
කැමති කෙනෙකුට මෙතනින් ගිහින් සම්පූර්ණ කවි මඩුවම බලන්න පුළුවන්.
2011/04/16

Thursday, May 20, 2010

කවි මඩුවක වග 08

රිසි සේ හැසිරෙන්න හෙවත් කවි මඩුවේ අවසන් මඩ

වැපෝ උඹට මේකට ස්තුති වේවා
පරණ මඩුවෙ ඉඳලා මට ඇති වූවා
හැකි ඉක්මනින් මම මේකට ගොඩ වූවා
අරගෙන මඩ වරෙව් මට මොනවද ඕවා...
ගීත් මොකද බුරනුයෙ බල්ලෙක් වාගේ
මටනම් එහෙත් මේ පැත්තත් එක වාගේ
බයිලාවලට උඹ හරි ආසා වාගේ
වාද බයිලා කියමුද හෙට දින වාගේ...
කව්ද යකෝ ලණු දැම්මේ අපෙ දිල්ට
දාගන්නටයි දත කන්නේ එය වැප්ට
ඒවා කොහෙද මම ඉන්නවා දැන ගන්ට
වැප් බය නොවී වර මම ඉන්නවා උඹට...
යම රජු මොනවටද උඹ අම්මනෙ කාළී
දිල් උඹ ඉන්නකල් තව මොකටද කෑලී
වැප්ටම හලන්නේ ඇයි උඹ පල් හෑලී
වාගෙයි මදය නැති උඹ ප්ලයිවුඩ් ලෑලී...
යක්කු ගැනම මොනවද මේ කියන කතා
අහගෙන ඉන්නෙ කොහොමද මම නැතුව කැතා
ගැහුවත් උඹට මඩ අනලා තදින් ඉතා
හිත රිද්දන්න නම් මගෙ නෑ කිසිම හිතා...
දිල් දිල් නගේ දැන්නම් මට දුකත් දැනේ
ඇයි උඹ එන්නේ පැටලෙන්නට වාගෙ ඇනේ
මා එක්කලා පැටලුනොතින් හොඳට දැනේ
ඒකයි කියන්නේ සාමෙන් හිඳිනු මැනේ...
ආවේ මමත් පෙන්නන්නට ටිකක් වැඩ
කෙල්ලන් මෙතන ඉන්නා කෝ නෑනෙ හැඩ
හතර වටේටම තිබුනත් කොතෙක් මඩ
මට කම් නැතේ මම නෙළුමක් වගෙයි හැඩ...
හිපෝ තලයි මඩ සුපුරුදු ලෙසින් වලේ
දිල් හා එකතු වී සහයෝගෙන්ම බොලේ
මේව දකින මට සිහි නෑ වගෙයි මොළේ
දෙන්නම එකට බැඳ යවමුද ගිලීමලේ...
අහිංසකව හිටි වැපාට මඩ ගහලා
දිල්ටයි හිපෝටයි හොඳහැටි තදවීලා
දෙන්නම් උඹලා දෙන්නට කිරලා මැනලා
කලිසම් ඇතත් නැතුවත් අපි නෑ වැටිලා...
දිල් හට හිතුන මුත් කරනට සුමියා කිස්
හිපෝ ඇවිත් තැබුවයි දෙන්නටම දෙස්
මේ වැඩ අස්සේ දිල්ගේ බත් එකත් රොස්
කන්නට වෙලා දැන් තම්බාගෙනම කොස්...
එලොවට ගියත් මම යළි මෙලොවට එන්නේ
ඒ ආ පසුත් නෑ උඹනම් හැර යන්නේ
මගේ බෙල්ල කඩනට උඹ සැරසෙන්නේ
ඒවට කලින් මම උඹ ගෙන පැන යන්නේ...
හිපෝ බයවෙලා ගැලවුනු කලිසමට
දැන් ඈ සොයයි කට්ටඬියෙක් තොවිලයට
ඔතරම් බයයි නම් උඹ නෑවිත් මෙහෙට
දැන්මම ගිහින් පැනපන් උඹෙ මඩ වලට...
වැපා නැතත් මම තනි වීලා නැත්තේ
සුමින්දයයි සසීන්ද්‍රයයි මගෙ පැත්තේ
පැනලා යන්න මා සමගින් දිල් ඇත්තේ
අනේ හිපෝ උඹමයි තනිවී ඇත්තේ...
හිපෝ මොකද දැන් හිඟමන් අයැදින්නේ
මදුරංගටත් මුකුළුව දාගෙන යන්නේ
වාද කරන්නට බැරුවද දඟලන්නේ
පැරදුම පිළිඅරන් යන්නද සැරසෙන්නේ...
පැන යන එකත් මා හා ජොලි කියාලා
දිල්මයි කිවුවෙ පෙර කවියෙන් ගොතාලා
පොඩ්ඩක් මූසිකය එහෙ මෙහෙ කොරාලා
බැලුවොත් පෙනෙයි මේ ඇත්තයි කියාලා...
වැපා මොටද අල්ලන්නට මට පන්දම්
ගොන් බානක් වුව කම් නෑ දෙනවානම්
ඉරිසියාව නම් හොඳ නෑ මේ අන්දම්
එන්නට කැමතිනම් ඔබටත් නෑ තහනම්...
අපොයි හිපෝ ඕවා නම් කැත වැඩය
ගැහුවොත් මඩක් මම නම් එය මූණටය
තව තව මඩ ගසා මොකටද වැප් නැතිය
ඉන්නා එකෙක්ටම ගහනා එක හොඳය...
වව්ලෙක් වුනත් මම උඩ එල්ලී ගත්ත
කවි ගොතනවා හෙලවී යන්නට පැත්ත
නූලක් අරන් අඹරා මඩ ගා ගත්ත
අමුනා පබලු එල්ලනවා උඩ අත්ත...
දිළිසෙනු බලන්නට නම් පබලුගෙ මාලා
ගන්නට වෙනවමයි මහ මුහුදේ ඔබලා
මෙතුවක් දවස් හොඳ හැටියට මඩ නාලා
මදිවීලාද තව තව කන්නේ ඉල්ලා...
මෙන්න පබලු දෙනවලු මඩ ගුලි කරලා
කුරුමිණියෙක් වගේ කන ගොම ගුලි හදලා
මට හරි දුකයි උඹ ගැන කඳුලුත් ගලලා
පිසදා ලන්න එන්නද ගමටම කියලා...
මඩනම් තිබුන මුත් අඩුවක් නැතුව තදින්
මම හිටියනේ නෙළුමක් වගෙ ඊට උඩින්
උඹ හිටියනම් ඒ මොහොතෙදි මගේ ළඟින්
සත්තයි අරන් යනවාමයි සැමට හොරෙන්...


මඩේ ඉපදිලා හැදිලා වැඩුනු නිසා
පබලුට ඕවා ලොකු නෑ මඩ පුරුදු නිසා
එනමුත් නගේ මේ මඩ හරි නපුරු නිසා
පරිස්සම් වෙලා හිටියොත් ඒක යසා...
පබලුගෙ හිතට හොඳටම රිදිලා හින්දා
මට පව් කියා හිතෙනවා අඬනා හින්දා
මගෙ කට කොහොමටත් වැඩි හොඳ නැති හින්දා
මට හරි දුකයි නංගියෙ උඹ පොඩි හින්දා...
පොඩියි කියා හිතලයි මම දුන්නෙ මිදී
ආවොත් ඔහොම දෙන්නම් ගැලවෙන්න රෙදී
කොතරම් ගැසුවමුත් මට රිදවන්න වැදී
මා අඬවන්න නම් ඔය හොඳටෝම මදී...


මේ post එකනම් ටිකක් දිග වැඩි වුනා, අන්තිම කොටස වෙනුවෙන් තව post එකක් දාන්න වෙනවා. සමාවෙන්න ඕනේ... ඒ වගේම මේවා සැර වැඩිද කියලත් හිතෙනවා දැන් කියවද්දි.. :( :(  දිල්හිපෝපබලු.. වරදක් කළත් සිතකින් නොවේ හොඳේ...







Wednesday, May 19, 2010

කවි මඩුවක වග 07

FM නාලිකා / අලුත් සින්දු හෙවත් රිසි සේ හැසිරෙන්න

FM නාලිකා පිළිබඳ සංවාද
කරනට ආව මුත් නැහැ මගෙ කිසි භේද
පැරණි ගී වුවත් නවතම වුවත් අද
මමනම් අහනවා හොඳනම් නැහැ වාද...
ඇසෙනා විටදි FM ගිරවියගෙ නද
ඒ වෙත සිත නොයන කෙනෙකුන් ඉන්නවද
සමහර ගීත ඇසුනත් සිත් කරන වද
මහරෑ සවන් ගත වෙයි හොඳ ගීත නද...
ඒකට පිළිතුරක් ඔබ හට කියන්නට
ආවත් සිතට බය ඔබ ඔරවයිද මට
එනමුත් කියමි මම අරගෙන හිතට ගට
නෑ කිසි කතා ගී පමණයි මහ රෑට...
සැමටම කියන්නේ FM ගැන වාද
කරනට තරම් නෑ මට කිසි මතවාද
මොන මොන තරම් FM රට පුරවාද
කොහොමද කියන්නේ මම පිට රට නේද...
මොනවද කොල්ළනේ දැන් මේ තැන වෙන්නේ
පෙනෙනා ලෙසට වාදය හෙඩිමෙන් පිටනේ
මේ හෙඩිමටත් ලියනට කිසිවක් නැහැනේ
සැමටම කරුණු ඇති හෙඩිමක් වෙත යන්නේ...
මඩනම් මඩ දෙන්නම් මම දාලා වැඩ කිඩ
කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වී දෙනවද ඉඩ
කට දැම්මොත් වෙඩි තියනවා තියලා ගල උඩ
ගහගමු අපි මඩ හොඳ හැටි මොනවද මේ පඩ...
මොකද නංගිලා මල්ලිලා නොකර කතා
මමනම් ඉන්නවා වාදෙට ලැදිව ඉතා
එහෙනම් ගහමු මඩ සැම දෙවි පිහිට පතා
වැඩිපුර තියෙන මඩ දෙන්නම් යන්න ඔතා...
මොනවද වැප් කියන්නේ කවි නොව බයිලා
මොකටද ආවෙ උඹ මේ තරමට බීලා
කියපන් ආයෙ යනවිට මා අමතාලා
යන්නට ගිහින් එන්නට හොඳහැටි ගසලා...
කරලා ඇත්තෙ උඹනම් යුතු දේය කළ
වැපා මොකද දඟලන්නේ පැනලා මළ
උදව් කරපු අයටත් මේ වගේ කළ
වැප් වගෙ එවුන් යටකල යුතු දමා වළ...
වමනය කරන්නට නම් මොකටද බිව්වේ
බිව්වා නොවෙයි වමනය මම අස් කෙරුවේ
ඒ මොන දෙයක්වත් මූ නම් නැහැ දුටුවේ
ලැගලා හිටියේ මම යනවිට ගව මඩුවේ...
බලපන් වැපෝ කවි මඩුවේ බර වැඩිදේ
ලෝඩ් වෙන්න කොතරම් වේලා යයිදෝ
හොයලා බලාපන් ඉක්මන් කර ආඳෝ
මඩුවම කඩා වැටුනොත් හරි දුක නේදෝ...
මොනවද සසීන්ද්‍රයො උඹ මේ කියවන්නේ
වැප් මොන පොඩිද මට වැඩියෙන් වැඩිමල්නේ
බොන්නට තිබුනනම් ඇයි මේකාට දෙන්නේ
මම බොනවානෙ මූ බොරුවට දඟලන්නේ...
බයිලා ගහන්නේ ඇයි කවි මඩු අස්සේ
ගීත් උඹට නැතුවද කිසි විස්වාසේ
පීටර් මොකද නයි දාගෙන රෙදි අස්සේ
වාද බයිලා කියමුද මඩුවෙන් පස්සේ...

කවි මඩුවක වග 06

ලංකාව දියුණු කල හැකිද? නොහැකිද?
ඇත්තයි උඹත් කිවුවේ ඇත්තම ඇත්තා
එය ඇසු ගමන් මම උඹෙ පැත්තම ගත්තා
පොදු ජන රවටලා සබයට පැන ගත්තා
මුන් රැල නැති කලොත් මිස දියුණුව නැත්තා...
දියුණුව දකින්නට නම් සිරි ලක් දීපේ
නැතිකල යුතුයි මේ මැටි දෙස් පළු සාපේ
හදනට රට බැරිය පවතින තෙක් මෙ කපේ
නැතිවී යන තුරා සිංහලයගෙ ඕපේ...
ඉරයි හඳයි එක තැන තියනට බැරිවා
වැප්ටයි මටයි එක පස ඉන්නත් බැරිවා
උඹටම මඩ ගසා හිත වාවනු බැරිවා
මේ හෙඩිමෙදී මට කවි කීමට බැරිවා...
අදනම් හරි ගියේ නෑ මට මේ පාර
කවි ලියනටත් බැරිවිය පළවෙනි පාර
නිදිමත ඇවිත් ගහනව කුළු ගෙඩි පාර
දැන් මම ගිහින් බැට දෙන්නම් එන පාර...


සුද්දා නැතිනම් අපි තාමත් අමුඩ කෙටියේ
දෙන්නම් අදහසක් යන්නට පෙර නික්මී
රාවණ රජුත් ගියාලු මොණරෙන් නික්මී
සුද්දා ඇවිත් කෙරුවත් වැඩ නැති හික්මී
උන් නාවනම් තවමත් හෙළයා ගොන්මී...

කවි මඩුවක වග 05

විවාහ ජීවිතේද හොඳ? තනිකඩ ජීවිතේද?

ආවා ඔන්න ආවා මම කවි රැගෙන
කවුරුත් මොකද තාමත් නැත්තේ මෙතන
වැප් සහ සෝරො ඇයි නිහඬව බලාගෙන
විවාහයද තනිකඩදැයි කියනු මැන...

තවමත් තනිකඩයි මම කෙල්ලෙක් නැතුව
බැන්ඳොත් නැතිව යයි ඇති ආතල් සතුව
ලැබුනොත් දිනක කෙල්ලෙක් විලසින් පැතුව
බඳිනව එතෙක් ඉන්නවා තනියට නතුව...

දැන්නම් ඉතින් පැත්තක් ගන්නට වෙනවා
දෙපැත්තටම යන්නට ආසා වෙනවා
අනුවත් වැපත් මට මේ ගැන පවසනවා
කොයි පැත්තටද අඩු මම ඒකට එනවා...

වැට උඩ ඉන්න එක අවදානම් වාගේ
දැන් දැන් වැටත් සෙලවී යනවා වාගේ
ඉක්මන් කරන් බන් මට දැන් ඇති වාගේ
විවාහයට මගෙ හිත ඇදෙනව වාගේ...

වෙනස් වෙලා ඉතිහාසය පළමු වර
වැපා සමග එක පැත්තේ නිශාචර
අදිමු අදිමු ගේමම දැන් දාලා බර
තනිකඩයට කෙලවන්නට අනුවො වර...

ඔබේ පාට නිල් පාටයි
ඒ පැත්තේ සසීන්ද්‍රයයි
පීටර් හා දිල් නෝනයි
උඹලට දෙවියන් පිහිටයි...

ඇයි නංගියෙ දිල් නංගියෙ බයද ඔයා
පාට දැකපු ගමන් මෙයා යන්න ගියා
තරහ නැතුව මේ පාරෙන් එන්න මෙයා
විවාහයට පිවිසෙන් මුළු ලොවට කියා...

දැන්නම් ඉතින් මගෙ ඔළුවත් පිස්සු වුනා
තනිකඩ වෙන්න කවුදැයි පෙර කැමති වුනා
පෙනෙනා ලෙසට තනිකඩයින් නැතිවෙමිනා
බඳින පිලට මේ ඔක්කොම පාත් වෙනා...

පීටර් කොළුවා කෝ ආගිය අතක් නැතී
දිල් නංගී හිටියත් ඇය එන්නෙ නැතී
සසීන්ද්‍රටත් දැන් යන එන මං නොමැතී
අනේ හිපෝ මට උඹ ගැන දුකත් හිතී...

අපොයි නගේ මම ඕවා දන්නෙ නැතී
පාට නිසා නොව මම මේ පැත්තෙ ඇතී
පාටක් මොටද උඹෙ හිත උඹ දන්නෙ නැතී
කවියක් ලියමු වී පැත්තට උඹ කැමතී...

වැපා එය කලේ අප කාගෙත් හොඳට
කිසිවෙක් සිතා පිලකට ගියෙ නැති කමට
ඕකට ඔය තරම් ඔරවන්නේ මොකට
අමතක කර පාට කවි පබඳිමු ජයට...

බලන්න දිල් දැන් මෙහි පාටක් නෑනේ
බොරු කලබල කිසිවක් ඕනෑ නෑනේ
වාද කරන්නට දෙපිලක් ඕනෑනේ
විවාහෙටයි මම තනිකඩ වෙන්නෑනේ...


Tuesday, May 18, 2010

කවි මඩුවක වග 04

අදත් ගොඩවුනා මම තෙරුවන් නමැඳ
කෝ මේ කවියො ටික මුන් තවමත් නිදිද
අත දිග ඇරලා ලියනවා කවි වැල් පබැඳ
ගැහැනුන් තමයි ලස්සන පිරිමින් කොහිද...
දිල් මේ මොකද හුස්මත් හිරකර ගත්ත
හැටි දැක මගෙත් හිරවෙනවා පපු පැත්ත
මොන මළ යකා ආවත් අරගෙන කැත්ත
මම කියනවා ඇත්තම ගියමුත් පැත්ත...
වේරංගා කව්ද මම නම් නැහැ දන්නේ
මීට කලින් නම් කොහෙවත් දැක නැත්තේ
කටට එබූ මසුරන් ටික ගිල ගත්තේ
හැදුනොත් බඩේ ලෙඩ එනවද මේ පැත්තේ...
ලියනට කවි කතා එක්කර දමා පැණී
තියෙනා දුක වුවත් සමහරු බෙදා ගනී
ඉන්නවා ඉතින් අපි සැමදෙන එකා වැනී
බ්ලොගයක් ලියන්නයි ඇරයුම නිශා ගෙනී...
ගැහැනුන් ලස්සනයි මටනම් නිමක් නැතී
පිරිමින් කඩවසම් එහි සැකයකුත් නැතී
ඔන්න වැපෝ කිව්වා මම ඇත්ත ඇතී
තේරුම් ගනින් මා හට දැන් පුදා බැතී...
අහපන් වැපෝ අහපන් අරගෙන තේරුම්
කරලා දෙන්නෙ උඹ හට කවියෙන් බේරුම්
ගැහැනුන් ලස්සනයි රෑටත් වලින් කෙරුම්
බැඳපන් ඉක්මනින් උඹටත් යයි තේරුම්...
දුරට ඇපල් ළං වෙනවිට පැපොල් වෙතී
ඒ ලෙස කියන උඹ මෙය නම් දන්නෙ නැතී
ලස්සන රස ඇපල් නෙක පැහැයෙන් පවතී
මට දුක ඒවා කන්නේ පණුවන්ය නිතී...

කෙල්ලන් ලස්සනයි හොඳ පැහැයයි කීවා
එය ඇසු වැපා බිය වී දුවගෙන ආවා
කෙල්ලන් කොහෙද ලස්සන මම වැප් කීවා
ඒ ලස්සන ගැනයි මම ලියනුයෙ මේවා...

කැටයක් අඟුරු තැබුවොත් ඉර හඳ ගාවා
ලස්සන වෙයිද වාගේ එය හඳ හාවා
වැප්ගේ හැඩ බලන්නට හොඳ හැටි නාවා
ගන්නට වෙනවා කිරි කල හතකින් මූවා...

මගේ ඇඳුම ගැන ඇයි උඹ වද වෙන්නේ
කෙල්ලන්ගේ හැඩයි මම කියලා දෙන්නේ
ඇයි උඹ නකුට පාගාගෙන දඟලන්නේ
මම නම් නෙවෙයි උඹ නාවන්නට එන්නේ...

මටනම් දුකයි වැප් අද උඹ තනි වෙනවා
දුක වැඩි නිසා මම දැන් ටිකකට යනවා
ඇදගෙන යමන් කෙල්ලනි සැම මන පිනවා
බිය වන්නට එපා මම ආයෙත් එනවා...
ඇත්තම තමයි අනුවෝ උඹ දැන් කීවා
ඕකම කියන්නට මම හෙණ දත කෑවා
වචනයෙ අවුල පමණයි වරදක් නැතුවා
පිරිමින් කඩවසම් ගැහැනුන් හැඩ ඇතුවා...
මමනම් හිතුවෙ දැන් ඔක්කොම කියා නිදී
ඒ මුත් ඇවිත් වළියම තව තවත් අදී
දෙන්නෙක් එකතු වී කෙල්ලට කරන හදී
දැක දැක අහක බැලුමට මගෙ හිතට මදී...

කියනට කතා කෙල්ලන් ගැන හැඩකාර
ආවෙමි යළිත් අරගෙන මඩ හා තාර
කෝ මේ ගැටිස්සිය දිල් හරි කටකාර
කියපන් කවක් මුවගින් ඔය කවිකාර...

කෙල්ලන් ලස්සනයි මම Normal හින්දා
කොල්ලන් ලස්සනයි තොට තෝ Gay හින්දා
කොයි හැටි වෙතත් වචනත් මගෙ සැර හින්දා
කටවහගෙන ඉඳින් වැප් මට දුක හින්දා...

එන්නට නෙවෙයි හිටියේ ආයෙත් කොල්ලා
ආවෙ යළිත් තනි වූ හින්දයි දිල්ලා
කවුරුද බනින්නේ වැප් හරි හොඳ කොල්ලා
නාපන් පුතේ මේ වතුරට හිස අල්ලා...

Monday, May 17, 2010

කවි මඩුවක වග 03

දෑවැද්ද හොඳද නරකද?

දෑතම එකතුකර සරසවියට වැන්ඳ
පසුවයි ආවෙ කවි මඩුවට සිත බැන්ඳ
හොඳදැයි නරකදැයි කීමට දෑවැද්ද
අවසර මටත් කෙරුමට කවි පද බන්ඳ...

ගෑණිත් අරන් දෑවැද්දත් අරගන්න
හිතනා එවුන් දැන් මේකත් අහගන්න
සමහර ජාති වල මම හොඳ හැටි දන්න
පිරිමිත් පුදති දෑවැදි ගැහැණුන් ගන්න...
පොඩ්ඩක් ඉවසලා මේකත් අහගන්න
ඕකට පිළිතුරක් දීලා ඇත ඔන්න
කැමැත්තෙන්ම දෙනවානම් අරගන්න
යට ඇති කවිය දැන් පොඩ්ඩක් කියවන්න...
යුතුකම ලෙසට දෙනවා නම් දීම යුතූ
බලෙන් ඉල්ලලා ගන්නට නෑනෙ යුතූ
කොපමණ වෙනවාද මේ වගෙ අකටයුතූ
දෑවැදි ශබ්ද කෝෂෙන් පිටු දැකිය යුතූ...
හදලා මව් පියන් දරුවන් විඳල දුක
ගුණ දම් කියාදී ඉන්නට දහම රැක
ඒ දූවරුන් යවනා විට දීගයක
දෑවැදි ඉල්ලනා උන් පිරිමිදැයි සැක...

බඩගිනි නිවන්නට දෑවැද්දක් ඉල්ලයි
උඹ ගැන පුතේ ඇත්තට මටනම් ලැජ්ජයි
නිකමට වගේ කිව්වත් ඇත්තම ඇත්තයි
ඔහොමම ගියොත් බොට කෙළවෙනවා සත්තයි...

දුන්නොත් ගනින් මම කීවේ නැහැනෙ එපා
දෑවැදි ඉල්ලමින් පස්සෙන් යන්න එපා
කෙල්ළෙක් අල්ලලා බොරුවට සෙනෙහෙ පපා
හිඟමන් ඉල්ලලා චාටර් වෙන්න එපා... 

බඩ තර මුදලාළි මස් කඩ හිමිකාර
ගෙනෙනා එළදෙනක් මෙන් හරි හැඩකාර
ගෙනෙනා ප්‍රියාවිය නුඹ බැඳ කරකාර
හට නුඹ පෙනෙනු ඇත වගෙ මස් කඩකාර...

තමන් හිසට තම අතමය සෙවනැල්ළ
අහලා නැතිද මේ කවි උඹ මගෙ මල්ල
අනුන්ගෙන්ම යැපෙනට පා ගෙන අල්ල
හිටියොත් උඹට නෑමයි කිසි සැනසිල්ල...
නිශාචර වුනේ මම කාළෙකට පෙර
බැරි වූ නිසයි නිදනට රෑ යාමෙ පෙර
රාත්‍රියයි මට හැමවිට ප්‍රියංකර
නිශාවටම පෙම් බැඳි මම නිශාචර...
දෑවැදි දෑවැදිම වේ දුන්නත් කවුරූ
ඒවා දෙන්නෙ ගැහැණුන් පැනි කොටු පවුරූ
දෙන්නෙත් නැතේ ඉල්ලන්නෙත් නෑ මිතුරූ
උඹ තව දන්නෙ නෑ මිතුරේ මම කවුරූ...
දෙන්නම් මචෝ දෙන්නම් හිත සැනසෙන්න
කවදද එන්න හැකි කැමතියි දැනගන්න
කෑමත් බීම සමගම නිවසක් දෙන්න
පවුලත් හොයනවා බලු පැටියෙක් ගන්න...
රිදවන්නට හිතාගෙන නෑ මම කීවේ
හඬන්නට එපා මම විහිළුය කෙරුවේ
බල්ලෙක් උනත් ඇයි උඹ බොරුවට බිරුවේ
ඉල්ලූ නිසයි මම එය දෙන්නම් කීවේ... 

ගොඩ මඩ ඉඩම් විතරද උඹෙ ධනයෝගේ
මටනම් හැඟේ උඹ දැකලා නැත ලෝකේ
තම දෙපයින්ම හිටගත්තොත් එයයි අගේ
අහගන් එය තමයි ජීවිත ආලෝකේ...
කන්නට දෙන්න බැරිනම් ඇඳුමක් අන්ඳා
උඹ මොනවටද එන්නේ බිරිඳක් කැන්දා
කිසිවක් දැනුම් තේරුම් ගෙන නැති හින්දා
බින්නම බැහැ ගනින් නොම ගෙනවිත් කැන්දා...
කෙල්ලන් සොයමින් යන්නා
දෑවැද්දත් ඉල්ලන්නා
සියල් සපිරි කසාදයක්
මේ කපේදි නොම වෙන්නා...
මුන්ට පිස්සු උඹ පලයන් දුටු ගැමුණු
වාදය කරන්නට මුන් ලඟ නැහැ කරුණු
දෑවැදි ඉල්ලමින් ගැහැණුන් ලඟ නැමුණු
උඹලගෙ පිරිමි කම ගැන නැවතත් සිතනූ...
ගෑනුන් ගන්නෙ මොකටද උඹ නාකි වුන
ලස්සන කෙල්ලො සොයනට දැන් නැද්ද වෙන
හැඩ ඇති වයස අඩු ගෑනුන් සොයාගෙන
යනවානම් හොඳයි උඹ ඇඟ හදාගෙන...
ආවා විතරමයි දැක්කේ උඹව සනා
කතා නැතුව ඉන්නේ ඇයි ඔළුව වනා
දෑවැදි එපා කියමින් පද එකට අනා
කවි පද බඳිමු වාදය කර ගන්ට දිනා...
බඩගින්නට විසඳුම දෑවැද්දමද
දෑවැදි නැති වුනොත් උඹ මැරිලා යයිද
රස්සාවක් කරනට හයියක් නැද්ද
ලස්සන කන්න බැරිමුත් වෙන වැඩ නැද්ද...
උඹට දවල් වුනාට බන් මට හවස
අඳුරත් ගලාගෙන එනවා වෙත නිවස
දෑවැදි ඉල්ලනා නිවටුන්ගේ පවස
නිවනට මමත් ලියනව කවි මුළු දවස...
අන්න බොලේ නියම වැඩේ ඌත් ගොඩට ගියා
දිල්ටත් දැන් දැන් එන්නේ නියමම අයිඩියා
ආච්චිවයි සුමින්දවයි පෝරුව උඩ තියා
මිනී පෙට්ටියක් දෙමු අපි දෑවැද්දට කියා....
ආච්චිට වුවත් දෑවැද්දක් තියෙන
දීගෙක යන්න කිසි අඩුවක් නැත පෙනෙන
දෑවැද්දටම හැමදාමත් කෙළ හලන
මේ වගෙ එවුන් තවමත් ඉන්නවා මෙතන...
ගිය දුර එපා සොය සොය යන්නට නැන්දේ
කවි පද දෙක තුනක් කියමුද දා සද්දේ
හොඳ දැයි නරකදැයි කියමින් පද බැන්ඳේ
ගුණ දොස් තමයි අපි කවියෙන් දෑවැද්දේ...
ලිව්වා පැය ගණන් කවි පද වැල් ගලපා
දැන්නම් මට ඇතී යන්නට වෙයි පිටුපා
හෙට දින නැවත එමි වැඳ සමිඳුගෙ පිණිපා
ආයෙත් කියන්නේ දෑවැද්දනම් එපා...

Sunday, May 16, 2010

කවි මඩුවක වග 02

   මේ සංවාදෙදි නම් මට කවි ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. සැරින් සැරේ ඇවිත් ලියලා ගිය ටික තමයි මේ...


ගමද නගරයද

ගම වටකර හමනා මඳ පවන් රැලී
තිබුනත් ගමේ ඉන්නට මට හිතක් නැතී
ගස් වැල් නැතිව තිබුනත් නගරය වියලී
දිවි ගෙවනට මටනම් මෙය අගේ ඇතී...

මදි මදි වළිය ඇදෙනව හොඳටෝම මදී
තවමත් නෑනෙ හරියට කාටවත් රිදී
ගම හෝ නගරෙ හෝ වදිනා තැනට වැදී
දෙන එක දෙමුකො ගැලවී යන්නටම රෙදී... 
නිවාඩුවක් ලද විට ඉසිඹුවක් සොයා
යන මුත් ගමට සතියක්වත් රැඳෙන නියා
සතියක් ගෙවෙන විට එහි නැති සැපත සොයා
පිටවී එන්නෙ වැඩි වේගෙන් වාගෙ ගියා...
ගස් මුල ඉඳන් රා කටු බොන්නේ කුමට
විස්කි බ්‍රැන්ඩි මදිනම් වොඩ්කත් එමට
පොල් ලොරි මොකට මට එනවානම් ගමට
ඇත්නම් පොඩි ඉඩක් හෙළි කොට්ටෝරුවට...
බෙල්ලෙ එල්ලිලා නැටුවම ඇයි කිතිද
හඳපානේ පැනලා යන එක ගතිද
කැසිනෝ නරකනම් ඇයි බූරුවා හොඳද
ගහමුද එල්ලේ පාරක් අපිටත් බැරිද...

කවියනි කිවිඳියනි මා හට වෙන්න සමා
යන්නට වෙනවා දැන් නම් මට මේක දමා
ආයෙත් එන්න වෙන්නේ මට හෙටම තමා
එතකන් සැමට ආයුබොවන් සුභම තමා...


Saturday, May 15, 2010

කවි මඩුවක වග 01




   කාලෙකින් මොනවත්ම නොලියපු නිසා ලියන්න ගත්තත් මේ දවස් වල ලියන්න කියලා කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑ. මේ දවස්වල කරන එකම වැඩේ කවි මඩුවට වෙලා මඩ ගහගන්න එක තමයි :) ලියන්න දෙයක් නැති එකේ ඒ ලියපු කවි වගේ දේවල් ටිකවත් බ්ලොග් එකට ඇදලා දාන්න කියලා හිතුනා. 
    කවි මඩුව තනිකරම මඩ වලක් වෙලා තියෙන වෙලාවක තමයි මම මේ ලියන්නේ. ඉතින් කවි මඩුවෙදි මගේ මඩ ප්‍රහාරයන්ට නිතරම මුහුණ දෙමින්, හැම මාතෘකාවකදිම මගේ විරුද්ධ පාර්ශවය නියෝජනය කල හා කරන මගේ සහෝදර "වැප්" ට විශේෂ ස්තූතියක් පිරිනමන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. : D
   ඉතිහාසයේ ප්‍රථම වතාවට අකමැත්තෙන් වුනත් මටත් කුට්ටි කළ පොස්ට් එකක් දාන්න වෙනවා... මෙන්න පළවෙනි කුට්ටිය....


පුහුණුව
අහෝ දෙවියනී මට වුනු වියෝයා
කවි කියන්න වව්ලෙක්වත් නැතේයා
මගේ දුක බලා පිහිටක් කෙරේයා
යකෙක් වුවත් කම් නෑ මෙහෙ වරේයා...
ආවෙමි මමත් දත කට මැද උදෑසනේ
කවි වාදෙකට පැටලෙන්නට වෙලාසනේ
මඩුවම හිස්ය කිසිවෙකු නැත මුලාසනේ
සක් දෙවිඳුනේ කොයි ඔබෙ පඬු පුලාසනේ...



පහන් දැල්වීම
දුරු කරලා ලන්නට මෝහයෙ අඳුර
ප්‍රඥා පහන් දැල්විය යුතුමයි නිතර
අඩු වන්නට තව මෙහි පවතින අඳුර
දල්වමි මමත් පහනක් පිළිගන් මිතුර...
ජය හෝ පරාජය සමවම විඳගන්න
කවියෙන් කවිය ගලපා රස පතුරන්න
සතුරන් නොවේ මිතුරන් වැඩි කරගන්න
කාලය නොවෙද දැන් වාදය අරඹන්න...
ඊයේ රෑත් සුපුරුදු ලෙස මම වැඩය
කවි ලිය ලියා සිටියත් තව නිදි නැතිය
දැන් නම් නිදි කුමාරියගෙන් කරදරය
නොගියොත් අද රෑට වැඩ කර අහවරය...
මේ අහපන් අනේ වැපෝ
බොරුනම් කියවන්න එපෝ
හෙඩිම කොහෙද නෑනෙ අපෝ
හොයලා දීපන්කො යකෝ...
හා හා කොල්ළනේ කලබල වෙන්න එපා
කවි සිතුවිලි නම් දියකර ගන්න එපා
අකමැත්තෙන් වුවත් කිව යුතු වේය වැපා
හෙඩිමක් නැතුව නම් ආයෙත් එන්න එපා...