"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Wednesday, January 9, 2013

කේක් නම් නෑ...

හදිස්සියෙම මට බ්ලොග් එකක් තිබුනනේ කියලා මතක් වෙලා ඒක තාම යහතින් තියෙනවද බලන්න ඔළුව දැම්මා... හුටා අවුරුදු 3ක් වෙන්න ඔන්න මෙන්න... නරකම නෑ... :D එදාටනම් මොනව හරි ලියනවම කියලා එවෙලේ හිතාගත්තට දැන් මම මේ ලියන වෙලාව වෙද්දිත් රෑ 12 පහු වෙලා. කමක් නෑ අතින් පයින් යනවයැ...

ආපහු හැරිලා බලන්න තරම් ලියපු දෙයක් නැති උනත්, අද වෙද්දි මේ කෙරුවාව පටන් ටගත්ත දවසේ ඉඳලා අවුරුදු 3ක් ගත වෙලා. කොටින්ම අවුරුදු 3කට පස්සේ අද මේ ලියන්නේ මගේ 24 වෙනි ලිපිය :) ඒක ලියන්නෙත් අන්තිම ලිපිය ලියලා අවුරුදු 2කට විතර පස්සේ.  ඔන්න ඔහොමයි මගේ බ්ලොග් කෙරුවාව. ලිවීම ඔහොම උනත් බ්ලොග් හරහා ඇති කරගත් දැන හැඳුනුම්කම් යාළු මිත්‍රකම් නම් බොහොමයි.
 ඉතින් මම ස්තූති කරන්නම ඕනේ පහු ගිය කාලේ මට මොකද උනේ කියලා හොයලා බලපු ඒ හැමෝටම. 

 සයිබරෙන් ඈත් වෙලා හිටපු කාලේ ගොඩක් දේවල් වෙනස් වෙලා. මම වගේම තවත් සමහර අය අතුරුදහන් වෙලා, ගොඩක් අය අලුතෙන් එකතු වෙලා. ඒ කාලේ හිටපු අයටත් දැන්නම් මාව මතක නැතුව ඇති සමහරවිට. කොහොම හරි ඔන්න 'නිශාචරයා' තාමත් ජීවතුන් අතර...
 අදින් පස්සේ ආයෙත් ලියයිද නැද්ද, කවදා ලියයිද කියලා නම් මමවත් දන්නෙ නෑ, හැබැයි ලිව්වේ නැතත් කියවන්න නම් එනවා දිගටම, ඉතින් අපි හමුවේවි...
 

Thursday, April 28, 2011

පාස්කු නිවාඩුව හෙවත් 'TURNING POINT'


   ජීවිත ගමන් මග නිතරම වෙනස් වෙමින් පවතින දෙයක් උනත් හදිසි සිදුවීමක් නැත්නම් කලක් තිස්සේ සිදුවූ සිද්ධි දාමයක ප්‍රතිඵලයක් නිසා ක්ෂනිකව ඇතිවන වෙනස හැරවුම් ලක්ෂ්‍යයක්(Turning Point) විදියට හඳුන්වන්න පුළුවන්. මේක නොයෙක් අතට පාරවල් විහිදෙන එක්තරා මංසන්ධියක්. ඒ අතරින් අප තෝරා ගන්නා මාර්ගය මත තමයි අපේ ඉදිරි ජීවිතය රඳා පවතින්නේ.

   බොහෝ විට ඒ තෝරා ගැනීමේ වැරදි හෝ නිවැරදි බව පැහැදිළිව වටහාගන්නට ඒ මාර්ගයේ සැළකිය යුතු දුරක් යන්නට සිදුවීම ස්වභාවිකයි. වැරදි මාර්ගයක ගමන් ගන්නා බව පසක් වන විට ආපසු හැරීමක් ගැන සිතිය නොහැකි තරම් දුරක් ගමන් කර අවසන්. එවිට ඒ පිළිබඳව පසු තැවෙමින් තව තවත් පසුගාමී වීම ඉතා පහසුවෙන් කළ හැකි නමුත් පසුගිය දේ ගැන සිතමින් පසුතැවීම අනිවාර්යයෙන්ම පරාජය පිළිගැනීමක්. ගමන් ගන්නා මාර්ගය හරි හෝ වැරදි හෝ වේවා එහි තවත් දුර යාමට ඉතිරිව තිබියදී දුර්මුඛව අතරමග නැවතීම සැබැවින්ම අණුවන කමක්. අපි නොනැවතී ඉදිරියට ගියොත් තවත් තෝරාගැනීම් කිහිපයක් සහිත මංසන්ධියක් හමු නොවනු ඇතැයි කාටනම් කිව හැකිද?

   මගේ ජීවිත ගමන් මගේ පසුගිය වසර කිහිපය තුලම, සෑම වසරකම එක් නියමිත කාලයක පැහැදිළිවම හඳුනාගත හැකි හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක් මට හමුවුනා. තවත් පැහැදිළි කලොත් ඒ සෑම වසරකම පාස්කු නිවාඩුව (Easter holidays), මගේ ජීවිත ගමන සැළකිය යුතු වෙනසකට භාජනය කලා. ඒ සෑම අවස්ථාවකදිම මට තෝරාගැනීම කිහිපයක් තිබුනා. තීරණයක් ගැනීමට පෙර සළකා බැලිය යුතු සාධක රාශියක් තිබුනා. ඒ සියල්ල සළකා බලා මාර්ගයක් තෝරා ගත් පසු එහි වැරදි නිවැරදි බව පිළිබඳව තර්ක කිරීමෙන් තොරව, පසුතැවීමෙන් තොරව ගමන් කිරීමේ හැකියාව ගතකල කටුක ජීවිතය තුලින්ම ඒ වන විට මම ලබාගෙන තිබුනා.

   මෙවර පාස්කු නිවාඩු දින කිහිපය ඇරඹීමට පෙර සිටම මම තියුණු හැරවුමකට සූදානමින් සිටියේ පසුගිය වසර කිහිපයේ අත්දැකීම් මට ඒ බව සිහිපත් කරදුන් නිසාමයි. මෙවර ඒ පිළිබඳ පළමු ඉඟිය මට ලැබුනේත් පාස්කු නිවාඩුවේ පළමු දිනය තුලමයි. එය එක්තරා විදියක පරාජයක්, බොහෝවිට මානසිකව ඇදවැටීමකට ලක්විය හැකි අවස්ථාවක්. ඒත් ඒ වන විටත් සූදානමින් සැලසුමක් සහිතව සිටි නිසා එය මට එතරම් තැවීමට කරුණක් උනේ නැහැ. කොටින්ම මගේ පාස්කු නිවාඩුවේ වින්දනය බිඳකිනුදු අඩු කරන්නට එය සමත් උනේ නෑ. මම මගේ මාර්ගය තෝරාගෙන අවසන්.
 
   මගේ ජීවිතය ගැන හෝ මගේ තීරණය ගැන මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තුවක් නෑ.මේ ටික ලිව්වේ හැරවුම් ලක්ෂ්‍යයන් ගැන කතාව පැහැදිළි කිරීමේ අරමුණින් විතරයි. මේ වගේ තැන් අපි හැමෝගෙම ජීවිතවල අපි පහුකරලා ඇති. ඉදිරියටත් හමු වේවි. වැදගත් වෙන්නේ ඒ තැන් හඳුනා ගැනීම. ඒ තැන හඳුනාගත්තොත් විතරයි විකල්ප මාර්ග අපට දර්ශනය වෙන්නේ.  ඔබේ ගතකල ජීවිතය දිහා ආපහු හැරිලා බැලුවොත් මේ වගේ Turning points කිහිපයක් හෝ අනිවාර්යයෙන්ම හමුවේවි. ඒ වගේ තැන් හොඳට අධ්‍යයනය කලොත් ඉදිරියේදි ඒවා හඳුනාගැනීම එතරම් අපහසු කාරණයක් වෙන එකක් නෑ.
 
සමහරවිට වසරේ නිශ්චිත කාලයක් ඔබටත් හමුවේවි, ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කල. එහෙම උනොත් ඒ බව කියලා යන්නත් අමතක කරන්න එපා... ඒක මට උදව්වක් වෙයි මට තාම පිස්සු නෑ කියලා හිතන්න... :D

Friday, February 18, 2011

'ස' වික්ටර්... ඔබ හා මම...


"අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ...
තුන් සිංහලයම දූ දරුවෝ..."

   අඩ සියවසකට පසු ඔහු අදත් ගයන්නේ ඒ මධුර මනෝහර හඬින්මය. ඔහුගේ සිරුර මහළු කල නමුදු ඒ මිහිරි හඬ බිඳකුදු මහළු කරන්නට කාලයා අසමත් වූ සැටියකි.

"හිස මල් පිපුනා - හසරැල් නැගුනා
හද සෝ ගිනි දැල් නිවුනා..

නෙතු කැන් දිලුනා - සිතුවැල් බැඳුනා
ජය මංගල ගී ගැයුනා..."

   හිස මල් පිපුනේ ඔහුගේ පැමිණීම අසාය, හසරැල් නැගුනේ කලකට පසු සොඳුරු සංගීත රාවයන් සමග දැහැන්ගතව සන්ද්‍යාවක් ගත කිරීමට අවස්ථාවක් ලැබීම නිසාය, හද සෝ ගිනි දැල් නිවා ලන්නට ඔහුගේ මියුරු ස්වර සංරචනයන්, සංගීත සංයෝජනයන් මෙන්ම ඒ නොවෙනස් හඬ මාධූර්යය තවමත් එකසේ සමත්ය.

"සමිඳු පාමුල පිදෙන විලසින්
නා මලක් වී මා මලත් කම් නෑ...

ගලා ගිය දම් ගඟ අමා
අදත් බැස යයි ලොව තෙමා
රුදුරු බියකරු රාගයේ
අතරමං වූ ලෝකයේ
නිවන් මෙත් සුව ලබන පැතුමින්
පැමිණියෙමි බුදු බණ අසන්නට..."

  1960 දශකයේ මුල් භාගයෙන් ඇරඹී ගලා ගිය ඒ ගී ගඟුල අදත් එසේම ලොව තෙමමින් ගලා යද්දී අති ධාවනකාරී ලෝකයක අතරමංව වෙසෙන අප ඔහුගේ ගී අසන්නට යන්නේ, නිවන් මෙත් සුව ලබන්නට නම් නොවන බව සැබෑය.  එහෙත් සොඳුරු සංගීත රසාස්වාදයක් ලැබීමටත් වෙහෙසින් පීඩිත ගත සිත සැහැල්ලු කර ගැනීමටත් මෙවන් භාවාත්මක මියුරු හඬක්, මෙවන් සුමට සංගීත රාවයක් අවශ්‍යම වන බවද සැබෑය.

 "සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
මතකයි මා නැළවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා..."

   ඔහු ගයයි...
"දොයි දොයි දොයි දොයිය බබා.. බයි බයි බයි බයිය බබා.. නුඹෙ අම්මා කිරට ගියා, කිරි එරවා එන්ට ගියා..."
   ප්‍රේමකීර්ති ද අල්විස් නම් අති සංවේදී සොඳුරු ගේය පද රචකයා සිය මෑණියන් රෝහල් ගත කළ අවස්ථාවක රෝහලේ සිටම කුරුටු ගෑ පද වැල, හද පතුලටම දැනෙන මව් ගුණ ගීතයක් බවට පත් කළ අපූර්වත්වයයි ඒ.

   1976 "මඩොල් දූව" චිත්‍රපටය වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත් කළ තේමා ගීතයද ජීවය ලැබුවේ ඔහුගේ හඬිනි.

"කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්..."

"කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ
මුහුදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ..."
   ඔහු ගයන්නේ නිදහස් හඬිනි... ඒ නිදහස් හැඟුම අප සිතට කා වදින්නේ නිරායාසයෙනි.


   සිරිල් ඒ. සීලවිමලයන් ගේ පද වැල සහ ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ මියුරු තනු නිර්මාණයට ඔහු සිය හඬ මුසු කරන්නේ ළයාන්විතවය.

"මෝහෙන් මුලා වෙලා - මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිහා කොහේද මේ...

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ.. වේ...."


   බුදුන් වඳින්නට බණ අසන්නට දෙව්රම් වෙහෙරට අප කොතෙකුත් යන්නට ඇත. එවන් වූ චිත්ත රූපයක් මවන්නට තරම් මෙවර ඒ හඬ බැතිබරය.

"බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ..."


   ඔහු සිය හඬ ස්වකීය මියුරු ස්වර රචනාව හා එකට මුසු කොට කෙළිලොල් ළමා වියේ සුන්දරත්වය අප ඉදිරියේ මවා පාන්නේ ඉන්ද්‍රජාලිකයෙකු  ලෙසය.
   
"නංගියේ - මල්ලියේ
මල්ලියේ - නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ..//

වැලිබත් උයන්නම් - සැඟවී සිටින්නම්
මාදං කැලෑවේ පලු වීර වදුලේ
කවි ගී අසන්නම් - ඇකයේ රැඳෙන්නම්
මවගේ තුරුල්ලේ - උණුසුම් කැදැල්ලේ
උණුසුම් කැදැල්ලේ..."



"හබල බිඳීලා...... ..... ...."
   අදින්නේ ඔහුය, හුස්ම හිරවන්නේ අපේය. නිසැක වශයෙන්ම ඔහු තවමත් තරුණයෙකු විය යුතුය.

"හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ
හබල බිඳීලා.....
හබල බිඳීලා පෙරළුනු ඔරුවක
සුන් බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි, ඒ දෙස නොබලමි
තොටුපල අයිනේ...
කව්ද අත වනන්නේ..."

   වයස 69දී මෙවන් ගැයුමක් සජීවීව ගයන්නට වික්ටර් හැර වෙන කිසිවෙක් සමත් වේදැයි නොදනිමි. එසේම මෙවන් වයසකදීත් එක දිගට ගීත 30ක් සජීවී ලෙස ගයන්නට සමත් වෙනත් කිසිදු ගායන ශිල්පියෙකු මම මෙතක් දැක නැත්තෙමි.

"හෝපලු වන පෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන..."

රාගධාරී සංගීතයේ ආශ්චර්යය නොවේද මේ... ඔහු වචනයේ පරිසමාප්තර්ථයෙන්ම ගාන්ධර්වයෙකි.


"සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ..."

   බණ්ඩාරවෙල සිට දුම්රියේ කොළඹ එන අතරතුර මෙම තනුව නිර්මාණය කල බව ඔහු වරෙක පැවසුවා මතකය.

"සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ..."

   බණ්ඩාරවෙල සීතල පරිසරය සීතල මද පවන ගීතය හරහා විඳගැනීම අසීරු නැත. 


   කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් විරහව වචනයට නගන්නේ කෙතරම් සුන්දරවද,
"දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වී යැයි..."

 වික්ටර් එය අප හමුවේ චිත්‍රනය කරන්නේ එම හැඟීම දෙගුණ තෙගුණ කරවමිනි. විරහ වේදනාව එසේය. සංස්කාරක 'ගීතනාත් කුඩලිගම' සමරු කලාපයේ ඔහු හඳුන්වන්නේ "ප්‍රේම ගීතයේ රංගවේදියා" ලෙසය, එහෙත් විරහ ගී වුවද ඔහුගේ රංගනයට බාධාවක් නොවන්නා සේය.



   ඉතිං ඊට පස්සේ... 

"ඉතිං ඊට පස්සේ ඔබේ රන් පිළිරූ
පාට පාට දේදුනු සේ මා සිසාරා
මහද මැණික් පහනක් වූවා...

ඉතිං ඊට පස්සේ ප්‍රාර්ථනා වැස්සේ
කුරුළු පියාපත් හිස මැවුනා සේ
ගියෙමු පියාඹා දුර ආකාසේ
දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ
ආනන්දනීය ආදරේ..."
   චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක තේමා ගීතයක් විය යුතුයැයි හැඟේ. මතකයට නැගීම අසීරුය.


   ගීතය ඔහුට හුදෙක් ගායනයක් පමණක් නොව සිය හඬ අති සියුම්ව හසුරුවමින් කරන හැඟීම්බර රංගනයකි. ඔහුගේ ගී අසද්දී නිතැතිමන්ම මනසේ සිතුවම් මැවෙන්නේ එහෙයින් විය යුතුය.

"ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ..."

   ඒ එසේම යැයි තහවුරු වන්නට ඔහුගේ මෙවන් ප්‍රේම ගීයක්,

"පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ...
පෙම්බර මධූ මගේ... පෙම්බර මධූ මගේ..."

මෙවන් යුග ගීයක් ඇසීමම සෑහේ.

වික්ටර්:
"පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා ආදර නැකත ලඟා වේ..."
ඉන්ද්‍රානි:
"නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැරේ මීවද සුවඳ සදා දේ..."


මහගම සේකරයන්ගේ තවත් අපූරු පද මාලාවක්,

"අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්...

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මී විත උතුරා යයි උතුරා..."

ඒ එසේමය, කාලය ඉගිල ගොස්ය...

"අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ...
තුන් සිංහලයම දූ දරුවෝ..."

'ස' ප්‍රසංගයේ ආරම්භය මෙන්ම අවසානයද සනිටුහන් වන්නේ මෙම ගීතය සමගිනි.



   ඔහු පවසන පරිදි මේ ඔහුගේ දසවන මෙන්ම අවසාන ඔස්ට්‍රේලියා සංචාරයයි, නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඔහුගේ බලාපොරොත්තුවක් නැත. එය දුකට කරුණක් වන බව සැබෑය, එහෙත් ඔහු සතුටිනි, ඔහු සැබැවින්ම තෘප්තිමත්ය. අඩ සියවසක දීර්ඝ වූත් වෙහෙසකර වූත් සංගීත චාරිකාව ඔහු පරිපූර්ණත්වයට පත් කොට ඇත.


   "මම ඔබට දීර්ගායුෂ නොපතමි, මන්ද ඒ ඔබේ පැතුම නොවන නිසාය, දිවි ඇති තෙක් ගී ගයන්නැයි නොකියමි, මන්ද එයද ඔබේ බලාපොරොත්තුවක් නොවන නිසාය. මගේ ප්‍රාර්ථනාව ඔබේ බලාපොරොත්තු සඵල වේවා යන්න පමණකි..."

 'වික්ටර්' ඔබට සුභ උපන් දිනයක්...!!!

Tuesday, August 17, 2010

Bell-bottoms, මංගල මුදු සහ මට පිස්සු(ද?)

   මම තාමත් හොයනවා මාව. මගේ ජීවිතේ. හැමදෙයක්ම එකට පැටලිලා, ඇඹරිලා, හුස්මක් කටක් ගන්න විදියක් නැතුව අන්තෙටම වැටිලා. මේ අවුරුදු 27කට ආසන්න කාලය ඇතුලෙදි ජීවිතේ මාව කොහේටද ගෙනාවේ?

   අවුරුදු 27ක් කියන්නේ වර්තමාන මිනිසාගේ අපේක්ෂිත ආයු කාලයට සාපේක්ෂව සෑහෙන ලොකු කාලයක්. මට සාපේක්ෂව ඒක ඊටත් වඩා ලොකු කාලයක්. මෙච්චර කාලයක් තිස්සේ මේ විශ්ව සම්පත් භුක්ති විඳපු මම ඒ වෙනුවෙන් ලෝකෙට මොනවද දුන්නේ? එච්චර මොකටද, මම මට කියලා මොනවද කරගත්තේ? සමස්ත ලෝකය කියන දේ අමතක කරලා පවුල කියන ඒකකය විතරක් වෙන් කරගෙන ඊට අදාලව ඔය කියපු ප්‍රශ්න ටිකට උත්තර හෙව්වත් මට ලැබෙන උත්තරේ එකම එකක්.

   අතීත සිදුවීම පසු කාලීනව නැවත නැවත සිදුවීම මේ ලෝකයේ ස්වභාවයක්. ඕකට තියෙන හොඳම උදාහරණයක් තමයි විලාසිතා. කාලයක් (60-70 දශක වල) Bell-bottoms කියන්නේ අතිශයින්ම ජනප්‍රිය විලාසිතාවක්. ඒත් කාලයක් යද්දි ඒකම යල් පැන ගිය හණමිටි විලාසිතාවක් බවට පත් වෙනවා. ඒත් එතනින් තවත් අවුරුදු 20ක් (90 දශකයේ අග භාගය) ගතවෙද්දි ඒ විලාසිතාවම ආයෙත් තරුණ පරම්පරාවෙ රැල්ළක් බවට පත්වෙලා, තවත් වසර කීපයකින් නැවතත් අභාවයට යනවා. "ඕක දැන් යල් පැනලා..." කියලා ඒ අතීතය වළදාන්න බැරි, අද ඒක යල් පැනපු පරණ මෝඩ Fashion  එකක් උනාට තව කාලයක් යද්දි ඒක අලුත්ම අලුත් Fashion  එකක් විදියට ආයෙත් සමාජගත වෙන්න හොඳටම ඉඩ තියෙන නිසා.

   කොහොමහරි මට කියන්න ඕනෙ උනේ මේ ලෝකය ඇතුලේ එකම දේ කාලයෙන් කාලයට ආයෙ ආයෙ සිද්ධ වෙනවා කියන එක. කාට හරි හිතෙන්න පුලුවන් ලෝකෙ ගෝලාකාර බවත් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ඉලිප්සාකාර චලිතයත් මේ ක්‍රියාවලියට යම් බලපෑමක් ඇති කරනවා කියලා. ඒකත් වෙන්න බැරි නෑ, ඒත් මටනම් ඒකෙ කිසිම ගෝලීය හැඩයක් පේන්නෙ නෑ. ඒක එච්චර සුමට නෑ කියන එක තමයි මගේ හැඟීම. 

   සම්මත ශිෂ්ඨ විවාහයක් සිද්ධ වෙනකොට මුදු හුවමාරුව අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මම දන්න විදියට ඒකෙන් අදහස් වෙන්නේ අවසානයක් නැති ගමනක් එකටම යන්න දෙන්නෙක් අතර වෙන පොරොන්දුවක්. මුද්දක් කියන්නේ වක්‍රාකාර වස්තුවක්, ආරම්භයක් අවසානයක් හොයන්න බැරි සුමට දෙයක්. ඒත් (විවාහ) ජීවිතේ ඔය තරම්ම සුමට නෑ මගේ පෙනීමේ හැටියට නම්.


   මේ විකාර ඔක්කොම ඔළුවට ආවේ එක්තරා ඡායා රූපයක් දැකලා ඒ ඔස්සේ මගේ ජීවිතේ ගැන හිතන්න ගිහින්. අවුරුදු 27කට ආසන්න මගේ ජීවිත ගමනේ අන්තිම අවුරුදු 3 විතරක් වෙන්කරගෙන මම කාලය හරහා ඒ ආරම්භය හොයාගෙන ගියා. එතන් ඉඳන් අද දවස වෙනකන් ෆිල්ම් එකක් බලනවා වගේ මම පිටතින් ඉඳන් මගේ ජීවිතේ දිහා බලාගෙන හිටියා.

   මුලින්ම මම දැකපු දේ තමයි මම අද ඉන්නෙත් එදා හිටපු තැනමයි... ඒත් අද එතන ඉන්නේ එදා හිටපු මම නෙමෙයි. මම වෙනස් වෙලා, කාලයක් තිස්සේ එකතු කරපු අත්දැකීම් මාව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්කරලා. ඒ වෙනසම තමයි අද මේ විදියට අතීතයට යන්න මාව පොළඹවන්නේ.  

   ආයෙත් මුලට ආවොත්, එදා ගමන පටන් අරන් මම සෑහෙන දුරක් ඇවිද්දා. සෑහෙන දුකක් විඳලා භෞතිකමය වශයෙන් ගොඩක් දේවල් ලබා ගත්තා. ඒත් අද වෙද්දි ඒ හැම දෙයක්ම මගෙන් ඈත් වෙලා... මම ආයෙත් ආරම්භයේදි හිටපු තත්වෙටම පත් වෙලා. ආයෙත් හිටපු තැනටම ඇවිල්ලා. කොටින්ම ජීවිතේ ආයෙත් මුල ඉඳන්ම පටන් ගන්න සිද්ධ වෙලා.

   මම ඒ ආපු ගමන රවුමක්වත් ඉලිප්සියක්වත් වගේ සුමට සුන්දර ගමනක් නෙමෙයි. හැබැයි ප්‍රතිඵලය එකයි. ඇත්තටම ඒක එකම රාමුවක් ඇතුලේ කොටු වෙලා ඈතින් පේන ලස්සන ජීවිතේ වර්තමානයට ගන්න කරපු උත්සාහයක්, එහෙමත් නැත්නම් හිත පාලනය කරගන්න බැරිකම නිසාම අසාර්ථක වූ මෙහෙයුමක්.
 
   මම මේක ලියන්න පටන් ගත්තේ මගේ "හතරැස් වූ ජීවිතය" ට පසුවදනක් විදියට. ඒත් මේ විකාර හිතලා, ලියලා අන්තිමේ මේ වෙද්දි මගේ අදහසත් ටිකක් සංකීර්ණ වෙලා වගේ. දැන් මට හිතෙන්නේ මගේ ජීවිතේ විතරක් නෙමෙයි, 
   මේ මුළු ලෝකෙම හතරැස්....

Friday, August 13, 2010

හතරැස් වූ ජීවිතය


ඇරඹුමක්
ගමනක් සහ අවසානයක්(?)
නෑ බාධකයක්,
අංශක 90ක් සමග යළිත් ගමනක්
නොනැවතී ඉදිරියට....


අනේ මන්දා..
අන්තිමේ
හිටපු තැනමයි
මම....

Friday, May 21, 2010

කවි මඩුවක වග 09 හෙවත් අවසානය...


දින ගණනක් පුරා එක්වී කවි ගෙතුව
මුළු කවි මඩුව රස ආකරයක් කෙරුව
ඔබ හැමදෙනාටම හද පතුලෙන් මතුව
එන සුභ පැතුම් පතනෙමි අහිතක් නැතුව...

කවි මඩුවක් තනා කවි සිත් සනසන්න
පෙරමුණ ගත්ත සැමටම තුති පුදමින්න
මේ බැඳි මිතුරු දම් සදහට පවතින්න
පැතුමක් තියා මම සමුගෙන යමි ඔන්න...




මේ විදියට සමාප්ති සටහනක් තියලා මට කවි මඩුවෙන් කලින්ම සමුගන්න සිද්ධ වුනු නිසා මගේ මඩ ව්‍යාපාරයත් එතනින්ම නැවතුනා. කවි මඩුවේ මගේ කෙරුම් කවි 110කට සීමා වුනත් එය මම මගේ ජීවිතය තුල ලියූ වැඩිම කවි ප්‍රමාණය ලෙස පෞද්ගළික වාර්තාවක් මට හිමිකර දුන්නා. :D එයිනුත් වැඩිම ප්‍රමාණයක් (39 ක්) ලියා තිබුනේ අවසන් දිනය තුල. 110ක් ලියලා මූ කියවන තරමක් නේද... :P


ඇත්තටම මට කරන්න අවශ්‍ය වුනේ මං ගැනම පුංචි පරීක්ෂණයක්. මම සාමාන්‍යයෙන් එක දෙයක් එක දිගටම කරගෙන යන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි. කරන කරන හැම වැඩේම බාගෙට... බ්ලොග් ලියවෙන්නෙත් කලාතුරකින්, මෙහෙම ගිහින් ඒකත් නැවතිලාම යයිද මන්දා... :(


යන්තම් කොහොම හරි පද හතරක් ගැට ගහගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා කවි මඩුවට අයැදුම් කළත් කවියෙන් වාද කරන්න පුළුවන් වෙයිද කියලා සැකයකුත් තිබුනා. ඒ වගේම කවි මඩුව පැවැත්වුනු වෙලාවත් එක්ක මට ඒ හා රැඳී ඉන්න තිබුනු කාලයත් ඉතා සීමිත වුනා. නමුත් නොහිතපු විදියට මම කවියට ඇබ්බැහි වුනු නිසා කඩින් කඩ වුනත් අතරමග නොනැවතී අවසානය තෙක් ඒ හා රැඳී සිටීමට හැකි වුනා. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔය ලියපු පුංචි කවි 110 මට විශේෂ කාරණයක් බවට පත් වෙන්නේ.


ඒ වගේම අතීත කවි මඩුවල අසන්නට ලැබුණු එළිසම සහිත, පද හතරේ කවිය පුළුවන් තරම් කවි මඩුව තුලදී භාවිතා කරන්න මම පුංචි උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ සාර්ථක අසාර්ථක බව තීරණය කිරීම පාඨක ඔබට බාරයි....
ඒ එක්කම මට වඩා සාර්ථකව ඒ කාර්යයේ නිරත වෙමින් මගේ ප්‍රියතම කවියා බවට පත් වූ 'අනුරාධ' සොයුරාට මගේ උණුසුම්  සුභ පැතුම්.


අවසාන වශයෙන් මා හා නිතරම වාදයට පැටළුනු වැප් සොයුරාටත් දිල්, හිපෝ සහ පබලු සොයුරියන්ටත් අදහස ඉදිරිපත් කළ ගීත් සොයුරාට සහ එම අදහස සාර්ථකව ක්‍රියාවට නැංවූ 'ලාංකීය සිතුවිලි' මිතුරු කැළටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නම් සඳහන් නොකළත් කවි මඩුව සාර්ථක කිරීමටත් එය සුන්දර හා රසවත් කිරීමටත් එක් වූ කවියට පෙම් බැඳි සියළුම සොයුරු සොයුරියන් සිහිපත් කරමින් ඔන්න මම නිළ වශයෙන්ම කවි මඩුවෙන් සමුගන්නවා....
ඔබ සැමට කවි බර හෙටක්.......!!!

ආ සැම දෙනට කියවන්නට මගෙ බයිලා
පුදනව ස්තුතිය හදවත දිග ඇරලා
ඔබ සැම මිතුරන්ය සැමදා ඇති රැඳිලා
මගෙ දොර අගුළු ඇත ඔබ සැමටම ඇරිලා...


ප.ලි.
කැමති කෙනෙකුට මෙතනින් ගිහින් සම්පූර්ණ කවි මඩුවම බලන්න පුළුවන්.
2011/04/16

Thursday, May 20, 2010

කවි මඩුවක වග 08

රිසි සේ හැසිරෙන්න හෙවත් කවි මඩුවේ අවසන් මඩ

වැපෝ උඹට මේකට ස්තුති වේවා
පරණ මඩුවෙ ඉඳලා මට ඇති වූවා
හැකි ඉක්මනින් මම මේකට ගොඩ වූවා
අරගෙන මඩ වරෙව් මට මොනවද ඕවා...
ගීත් මොකද බුරනුයෙ බල්ලෙක් වාගේ
මටනම් එහෙත් මේ පැත්තත් එක වාගේ
බයිලාවලට උඹ හරි ආසා වාගේ
වාද බයිලා කියමුද හෙට දින වාගේ...
කව්ද යකෝ ලණු දැම්මේ අපෙ දිල්ට
දාගන්නටයි දත කන්නේ එය වැප්ට
ඒවා කොහෙද මම ඉන්නවා දැන ගන්ට
වැප් බය නොවී වර මම ඉන්නවා උඹට...
යම රජු මොනවටද උඹ අම්මනෙ කාළී
දිල් උඹ ඉන්නකල් තව මොකටද කෑලී
වැප්ටම හලන්නේ ඇයි උඹ පල් හෑලී
වාගෙයි මදය නැති උඹ ප්ලයිවුඩ් ලෑලී...
යක්කු ගැනම මොනවද මේ කියන කතා
අහගෙන ඉන්නෙ කොහොමද මම නැතුව කැතා
ගැහුවත් උඹට මඩ අනලා තදින් ඉතා
හිත රිද්දන්න නම් මගෙ නෑ කිසිම හිතා...
දිල් දිල් නගේ දැන්නම් මට දුකත් දැනේ
ඇයි උඹ එන්නේ පැටලෙන්නට වාගෙ ඇනේ
මා එක්කලා පැටලුනොතින් හොඳට දැනේ
ඒකයි කියන්නේ සාමෙන් හිඳිනු මැනේ...
ආවේ මමත් පෙන්නන්නට ටිකක් වැඩ
කෙල්ලන් මෙතන ඉන්නා කෝ නෑනෙ හැඩ
හතර වටේටම තිබුනත් කොතෙක් මඩ
මට කම් නැතේ මම නෙළුමක් වගෙයි හැඩ...
හිපෝ තලයි මඩ සුපුරුදු ලෙසින් වලේ
දිල් හා එකතු වී සහයෝගෙන්ම බොලේ
මේව දකින මට සිහි නෑ වගෙයි මොළේ
දෙන්නම එකට බැඳ යවමුද ගිලීමලේ...
අහිංසකව හිටි වැපාට මඩ ගහලා
දිල්ටයි හිපෝටයි හොඳහැටි තදවීලා
දෙන්නම් උඹලා දෙන්නට කිරලා මැනලා
කලිසම් ඇතත් නැතුවත් අපි නෑ වැටිලා...
දිල් හට හිතුන මුත් කරනට සුමියා කිස්
හිපෝ ඇවිත් තැබුවයි දෙන්නටම දෙස්
මේ වැඩ අස්සේ දිල්ගේ බත් එකත් රොස්
කන්නට වෙලා දැන් තම්බාගෙනම කොස්...
එලොවට ගියත් මම යළි මෙලොවට එන්නේ
ඒ ආ පසුත් නෑ උඹනම් හැර යන්නේ
මගේ බෙල්ල කඩනට උඹ සැරසෙන්නේ
ඒවට කලින් මම උඹ ගෙන පැන යන්නේ...
හිපෝ බයවෙලා ගැලවුනු කලිසමට
දැන් ඈ සොයයි කට්ටඬියෙක් තොවිලයට
ඔතරම් බයයි නම් උඹ නෑවිත් මෙහෙට
දැන්මම ගිහින් පැනපන් උඹෙ මඩ වලට...
වැපා නැතත් මම තනි වීලා නැත්තේ
සුමින්දයයි සසීන්ද්‍රයයි මගෙ පැත්තේ
පැනලා යන්න මා සමගින් දිල් ඇත්තේ
අනේ හිපෝ උඹමයි තනිවී ඇත්තේ...
හිපෝ මොකද දැන් හිඟමන් අයැදින්නේ
මදුරංගටත් මුකුළුව දාගෙන යන්නේ
වාද කරන්නට බැරුවද දඟලන්නේ
පැරදුම පිළිඅරන් යන්නද සැරසෙන්නේ...
පැන යන එකත් මා හා ජොලි කියාලා
දිල්මයි කිවුවෙ පෙර කවියෙන් ගොතාලා
පොඩ්ඩක් මූසිකය එහෙ මෙහෙ කොරාලා
බැලුවොත් පෙනෙයි මේ ඇත්තයි කියාලා...
වැපා මොටද අල්ලන්නට මට පන්දම්
ගොන් බානක් වුව කම් නෑ දෙනවානම්
ඉරිසියාව නම් හොඳ නෑ මේ අන්දම්
එන්නට කැමතිනම් ඔබටත් නෑ තහනම්...
අපොයි හිපෝ ඕවා නම් කැත වැඩය
ගැහුවොත් මඩක් මම නම් එය මූණටය
තව තව මඩ ගසා මොකටද වැප් නැතිය
ඉන්නා එකෙක්ටම ගහනා එක හොඳය...
වව්ලෙක් වුනත් මම උඩ එල්ලී ගත්ත
කවි ගොතනවා හෙලවී යන්නට පැත්ත
නූලක් අරන් අඹරා මඩ ගා ගත්ත
අමුනා පබලු එල්ලනවා උඩ අත්ත...
දිළිසෙනු බලන්නට නම් පබලුගෙ මාලා
ගන්නට වෙනවමයි මහ මුහුදේ ඔබලා
මෙතුවක් දවස් හොඳ හැටියට මඩ නාලා
මදිවීලාද තව තව කන්නේ ඉල්ලා...
මෙන්න පබලු දෙනවලු මඩ ගුලි කරලා
කුරුමිණියෙක් වගේ කන ගොම ගුලි හදලා
මට හරි දුකයි උඹ ගැන කඳුලුත් ගලලා
පිසදා ලන්න එන්නද ගමටම කියලා...
මඩනම් තිබුන මුත් අඩුවක් නැතුව තදින්
මම හිටියනේ නෙළුමක් වගෙ ඊට උඩින්
උඹ හිටියනම් ඒ මොහොතෙදි මගේ ළඟින්
සත්තයි අරන් යනවාමයි සැමට හොරෙන්...


මඩේ ඉපදිලා හැදිලා වැඩුනු නිසා
පබලුට ඕවා ලොකු නෑ මඩ පුරුදු නිසා
එනමුත් නගේ මේ මඩ හරි නපුරු නිසා
පරිස්සම් වෙලා හිටියොත් ඒක යසා...
පබලුගෙ හිතට හොඳටම රිදිලා හින්දා
මට පව් කියා හිතෙනවා අඬනා හින්දා
මගෙ කට කොහොමටත් වැඩි හොඳ නැති හින්දා
මට හරි දුකයි නංගියෙ උඹ පොඩි හින්දා...
පොඩියි කියා හිතලයි මම දුන්නෙ මිදී
ආවොත් ඔහොම දෙන්නම් ගැලවෙන්න රෙදී
කොතරම් ගැසුවමුත් මට රිදවන්න වැදී
මා අඬවන්න නම් ඔය හොඳටෝම මදී...


මේ post එකනම් ටිකක් දිග වැඩි වුනා, අන්තිම කොටස වෙනුවෙන් තව post එකක් දාන්න වෙනවා. සමාවෙන්න ඕනේ... ඒ වගේම මේවා සැර වැඩිද කියලත් හිතෙනවා දැන් කියවද්දි.. :( :(  දිල්හිපෝපබලු.. වරදක් කළත් සිතකින් නොවේ හොඳේ...