"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Thursday, March 25, 2010

මේ ඇයගේ කතාවයි...




     වෙනත් සහෝදර සහෝදරියන් නොසිටීමත් වයස් පරතරය ඉතා කුඩා වීමත් හේතුවෙන් කුඩා කළ ඇය මගේ හොඳම සහ එකම මිතුරිය බවට පත් වුවත් පසු කාලීනව ඇගේ හැසිරීම් රටාව මා ඇගෙන් තරමක් දුරස් කර තබන්නට සමත් උනා. මේ ඇයගේ කතාවයි...
    
      නංගි හැදිලා තියෙන්නේ ලෝකෙ තියෙන තරමක් සැර මිරිස් ජාති ඔක්කොම එකතු වෙලා කියලයි මම ඒ කාලෙ හිතුවේ. කොටින්ම කිව්වොත් එයාට තිබුනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ජාතියේ ලෙඩක්.  පොඩ්ඩ එහා මෙහා වුනොත් Sorryම තමයි. "නයි කයිද රෝස් පාන්" කිව්වලු..., අපි බය වෙයිද ඕවට... එයාගෙම අයියනෙ ඉතින් මම...
    
      මට ඒ දවස්වල තිබුන ජොලිම වැඩේ තමයි මෙයාව අවුස්සන එක. අම්මා කියනවා වගේ මෙයා ඉතින් කොයි වෙලෙත් පෙනේ පුප්ප ගත්ත ගමන්මයි. හැබැයි අවුලකට තියෙන්නේ පෙනේ පුප්පලා විතරක් නතර නොවී දරුණු විදියට දෂ්ඨ කරන්නත් පටන් ගන්න එක. ඒ වෙලාවට අතට අහුවෙන ඕනෙම weapon එකක් මට විරුද්ධව භාවිතා කරන්න කිසිම පැකිළීමක් නෑ. ඔය අවි ගබඩාවෙ පිහි, බෝතල් කටු, පිඟන් කෑලි, කළු ගල්, ගඩොල් වගේ හරිම සුමුදු සුසිනිඳු දේවලුත් නැති උනේ නෑ. මමත් ඉතින් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වලා ප්‍රති ප්‍රහාර එල්ළ කරන කොටම තමයි හැමදාම පොලිසියෙන් කඩා පනින්නේ.
     
      කොහේද ඉතින් මේ අන්ධ නීතියත් එක්ක මොකුත්ම කරන්න බෑනෙ, පොලිසියෙ ඇසින් දුටු සාක්ෂි අනුව පැහැදිළිවම වැරදිකාරයා මම නිසා හැමදාම මටම තමයි කූරු ගණන් කරන්න සිද්ධ වුනේ. ඒ විතරක්යැ ශිෂ්‍යත්ව විභාගෙ ළං වෙද්දි අපේ පොලිස් නිළධාරිනිය ඕකම අවස්ථාවක් කරගත්තා මාව නිවාස අඩස්සියේ තියාගෙන පාඩම් වැඩ කරවන්න. නංගි අනිත් යාළුවො එක්ක ගේ වටෙ දුව දුව සෙල්ලම් කරද්දි මම ගේ ඇතුලට වෙලා ගණන් හදනවා... කොහොමද දැනෙන සනීපෙ? :) ඇසින් දුටු සාක්ෂි නැති වෙලාවක උනත් 'ග්ලිසරින්' භාවිතා නොකර කඳුළු මැවීමට ඇයට තිබූ නිසර්ග හැකියාව යොදාගෙන පොලීසියත් උසාවියත් නොමග යැවීමට ඇය පසුබට උනේ නෑ. අනේ ඉතින් අහිංසක මං... මතක් වෙනකොටත් දුකයි... :(        
    
      කොහොම හරි ඉතින් කාලයත් එක්ක ඔය තත්වය තව තවත් වර්ධනය උනා මිසක් අඩුවක් නම් උනේ නෑ. දෙන්නා කතාකරන්න පටන් ගත්තොත් ඒක ඉවර උනේ වළියකින්ම තමයි. දවසක් ඔය විදියට ඇතිවුන දරුණු ගැටුමකින් පස්සේ ඉහල උසාවියෙන් මට දැඩි දඬුවම් නියම වුනා... ඒකට හේතුභූත උනේ 'අහිංසක නංගිගේ දිගු කේශ කළාපයෙන් ඇදීම සහ ඒ හේතුවෙන් ඇයට ක්ෂණිකව ඇතිවූ දරුණු හිසරදය'. අර නිසර්ග හැකියාව නිසා වැඩේට තවත් පෝර වැටුනා
       
      ඔන්න එදා තමයි මම තීරණේකට ආවේ මෙයාව හදන්න නම් රජකාලේ දඬුවම් දීලා යහරියන්නෙ නෑ බුදු කාලේ දඬුවමක් දෙන්න ඕනේ කියලා. අහලා ඇතිනේ බුදු රජාණන්වහන්සේ ඡන්න ඇමතිට පනවපු දඬුවම ගැන... ඔය 'බ්‍රහ්ම දණ්ඩනය' තමයි බූදු සසුන තුල පැනවුනු දැඩිම එහෙමත් නැත්නම් දරුණුතම දඬුවම විදියට සැළකෙන්නේ. ඉතින් මම එතන ඉඳන් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව මගේ ඒකමතික තීරණයට අනුව නගාට එරෙහිව 'බ්‍රහ්ම දණ්ඩනය' පැනෙවුවා.
       
      කිසිම කෙනෙක් විශ්වාස නොකලා වුනත් එදා ඉඳලා අවුරුදු ගාණක් ගතවෙනකනුත් මම වචනයක්වත් කතා කලේ නෑ නංගිත් එක්ක. ඒත් පස්සේ පස්සේ එයාම කතා කරන නිසා මටත් දුක හිතිලා දඬුවම ලිහිල් කරලා යාළු වෙන්න ගත්ත හැම උත්සාහයක්ම කෙළවර උනේ සුපුරුදු විදියටම යුද්ධ ප්‍රකාශ කරලා.


      " උඹ මොකටද ඔච්චර සෙකන්ඩ් වෙන්නේ? උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන් " මගේ හිතත් මට ඇඩ්වයිස් දෙන්න පටන් ගත්තා. එතනින් පස්සේ නම් අම්මයි, තාත්තයි විතරක් නෙමෙයි නැන්දලා මාමලා යාළුවෝ කොච්චර කිව්වත් මම නෙමෙයි සෙකන්ඩ් වෙන්න ගියේ. කලාතුරකින් වගේ වචනයක් දෙකක් කතා කළත් ඒකත් අවශ්‍යතාවයට විතරක් සීමා උනා.
       
      හැබැයි ඉතින් ඔය මොනදේ උනත් එයා මට අම්බානකට ආදරෙයි කියලානම් මම දැනගෙන හිටියා.. කිව්වට මොකෝ මාත් ඉතින් එහෙම තමයි :) නංගිට හැමදාම ඕනෙ උනේ මං වගේ වෙන්න, (හැම නංගි කෙනෙක්ම පොඩි කාලේ එහෙම වෙන්න ඇති සමහරවිට) මම කරන හැම වැඩේම ඒ විදියටම එයාටත් කරන්න ඕනෙ උනා. මම මොකක් හරි චිත්‍රයක් ඇන්දොත් එයත් අඳිනවා ඒකෙම ෆොටෝ කොපියක්, මොකක් හරි හැදුවොත් එයාටත් ඒකම හදන්න ඕනේ, බැරි උනොත් මම හදලා දෙන්නත් ඕනේ. මම මොකක් හරි බඩුවක් අතට ගත්තොත් එයාටත් ඒකම ඕනෙ වෙනවා ඒ වෙලාවෙම, නැති උනොත් ඉතින් වළි තමයි :)
       
      පස්සෙ කාළෙක මම කවි නිසඳැස් වගේ දේවල් ලියද්දිත් එයා ඒ ප්‍රතිපත්ති ඒ විදියටම පවත්වාගෙන ගියා. ඒක මට අහුවුනේ එයා ගෙදර නැති වෙලාවක එයාගෙ පොතක් බලන්න ගිහිල්ලා :) දැකලා පුරුදු කවි සෙට් එකක් අන්තිම පිටුවේ... හුටා, කෝ යකෝ Copy rights? චිත්‍ර නම් කොපි කළත් මොකෝ ඒත් කවි? මගේ කිසිම අවසරයක් නැතුව මගේ පොත්වලින් මගේ කවි හොරකම් කරලා මදිවට සමහර වචනත් වෙනස් කරලා.... හැබැයි ඕකට වළියක් අදින්න නම් මට එයත් එක්ක කතා කරන්න වෙනවා, අනිත් එක කෙල්ල නිර්මාණ කොපි කළාට හැකියාවකුත් නැත්තෙම නෑ... මොකද එයා දාලා තිබුන වචන මගේ වචන වලට වඩා නිර්මාණයට තිතටම ගැලපුනා. ඉතින් මම කලේ වළි අදින අදහස අතෑරලා ඒ වචන සෙට් එකත් මගේ වාග් මාලාවටම ඇතුලත් කරගෙන, මොකුත්ම දැක්කෙත් නෑ දන්නෙත් නෑ  නෑ වගේ හිටපු එක.. කොහොමද ටිකිරි මොළේ...? :)
        
      කොහොම හරි ඉතින් නිහඬව ගත වුනු අවුරුදු ගාණකට පස්සේ මම නංගිත් එක්ක හොඳින් කතා කළේ ලංකාවෙන් පිට උනාටත් පස්සේ. පවුලේ කිසිම කෙනෙක් නොදැක ගතවුනු අවුරුදු 2 1/2 කට විතර පස්සේ මගේ හිත දුකින් පිරිලා ගියේ මගේ එකම නංගි මනමාළියක් වෙන දවසේ, මට එයාව දකින්නවත්, අඩුම ගානේ දුරකථන ඇමතුමකින් සුබ පතන්නවත් අවස්ථාවක් නැති වුන නිසා. මොකද කොච්චර කතා නොකර හිටියත් කොච්චර වළි දාගත්තත් හැම අයියා කෙනෙක්ගෙම වගේ මගේ හිතෙත් ලොකු හීනයක් තිබුනා නංගිගේ Wedding එක මේ මේ විදියට කරනවා කියලා. ඒ දේවල් මට කරගන්න බැරි වුනත් ඒ හැමදේම අන්තිමට මගේ හිතේ තිබුන විදියටම සිද්ධ වෙලා තිබුනා.
         
      ඉතින් ඇගේ විවාහ මංගලෝත්සවය දිනයේ මගේ අතින් ලියැවුනු මේ පද කිහිපය තුල මම මෙතෙක් කියූ නොකියූ සම්පූර්ණ කතාවම ගැබ් වෙලා තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ.


"එපා නුඹ යළි මග බලන්නට පෝරුවේ හිඳ හොර හොරෙන්
එන්න හැකිනම් නෑ හිඳින්නේ අද දිනේ වත් නෑවිදින්
මනාළිය සේ නුඹ දකින්නට නගේ මට හිමි නෑ ඉතින්
සමාවීයන් නුඹේ අයියට ඔහුට නෑ ඒ තරම් පින්..."
                                                                     
                                                                   (25/06/09)

Thursday, March 11, 2010

මෙතෙක් හමු නොවූ ඇය....

ඈත සිතිජයෙ සැඟවිලා
හිරුත් මිලිනව යනු බලා
මගේ සිතුවිලි පා කරන්නම්
සුළං රැල්ලක දවටලා..

පුංචි තරු කැට දිළිසිලා
සඳට තනි මකනා නියා
හදේ තනිකම මැකී යා නම්
සඳක් වී ඔබ හිනැහිලා..

නේක මල් හසරැල් සලා
මා වටා සිටියත් බලා
මල් ලොවේ අග රැජිණ ඔබමයි
හිඳිමි තවමත් මග බලා..

හදේ සෙනෙහස පුරවලා
රෝස මල් පෙති අතුරලා
සත්තකයි මම බලා ඉන්නම්
එන්න හැකිනම් පියඹලා...


(05/11/09)