"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Sunday, April 18, 2010

රෝමය ගිණි ගනී...

   ගිය සතියෙ දවසක් රෑ වැඩ කර කර ඉන්න අතරෙ සෑහෙන කාලෙකට ඉස්සර කියවපු පරණ කතාවක් මතක් උනා. මට ඉතින් උප්පත්තියෙන්ම ආපු ලෙඩක් තියෙනවනේ.. ඔය ලෙඩේ ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි අතට අහුවෙන ඕනෙම ජරාවක් කියවන්නෙ නැතුව විසිකරන්න හිතෙන්නේ නැති එක.

   මට මතක විදියට මේ කතාව තිබුනෙ ගොඩක් ඉස්සර දවසක් ගෙදරට මොනවද ඔතාගෙන ආපු පත්තර කෑල්ලක. කතාවයි ඒත් එක්ක තිබුන කාටූන් එකයි කොහොම උනත් කවි දෙක නම් එකපාරින්ම මගේ මතක ගබඩාවට වැටුනා.

   මතක තියෙන කෑලි ටික එකතු කරගෙන ඒ කතාව ආපහු අලුත්වැඩියා කරගත්තොත්...... මෙන්න මෙහෙමයි වුනා කියන්නේ......

   කාලෙන් කාලෙට එන එක එක රැළි තියෙනවනේ.. ඒ වගේ ඉස්සර එක කාලයක් පාසල් ශිෂ්‍යාවන් අතර ජනප්‍රිය වෙලා තිබුනලු කුඩා ප්‍රමාණයේ Suit case වර්ගයක් school bag එක විදියට.  ඉතින් ඒ කාලෙ කොල්ලො මේ වගේ suit case අරන් යන් කෙල්ලන්ට විහිළු කලේ "තෙල් වෙළෙන්ඳියෝ" කියලලු. මොකද තෙල් බෙහෙත් විකුණන අයත් පාවිච්චි කරන්නේ ඔය වගේ bag නේ.

   "ආ නංගී, තෙල් වෙළඳාමේ යනවා වගේ...." වගේ කතා නිතරම ඇහෙන්න ඇති නේද? :)

   ඉතින් ඔන්න ඔය කාලේ එක්තරා කවියෙකුට(මතක විදියට ඔහු ජාතික පුවත්පතක සේවය කළ කෙනෙක්) ඔහුගේ හිතවත් කාන්තාවක් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලාලු ඒ ඇත්තිගේ දෝණියන්දෑ පිළිබඳව. මේ ගෑණු දරුවට තිබිලා තියෙන ප්‍රශ්නේ තමයි පාසල් යන එන අතර පිරිමි ළමයෙක්(පාසල් ශිෂ්‍යයෙක්) ආදර හැඟීම් ප්‍රකාශ කරමින් පස්සෙන් එන එක. මොන දේ කිව්වත් කොල්ලා try එක අත අරින්නෙම නෑලු. ඉතින් මේ කරදරේ නිසා ඇය පාසල් ගමනටත් අදිමදි කරන බව තමයි අම්මා කියලා තියෙන්නේ.

   ඔය කතාව අහගෙන හිටපු කවිකාර පත්තර මහත්තයා දීලා තියෙන උපදේශේ තමයි ඔය කරදර කරන්න එන අයට එරෙහිව කුඩේ පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ අම්මත් බොහොම සතුටින් උපදේශේ පිළිගත්තලු.

   ඊට සතියකට විතර පස්සේ ඔහුට ආරංචි උනාලු අදාල ප්‍රේමවන්ත ශිෂ්‍යයා තමන්ගේ සිහින කුමරියගෙන් හොඳ කුඩ පහරක් එහෙම කාලා සත්‍යාවබෝධය ලබාගත් බව. පත්තර කාරයන්ටත් නිකන් ඉන්න බැරි නිසා පහුවෙනිදා පත්තරේ ඔය සිද්ධියට අදාලව ලස්සන කවි දෙකක් එක්ක කාටූන් එකක් එහෙම පල කරන්න අපේ කතානායකයා අමතක කරලා නෑ.

   අවාසනාවකට වගේ ඒ කාටූන් එක අලුත්වැඩියා කරලා අඳින්න තරම් මගේ සිත්තර හැකියාවනම් දියුණු නෑ....

   ඔය කාටූන් එක ඔහු ඇඳලා තිබුනේ කොටස් දෙකකට. මුල් කොටසේ තිබුනේ suit case school bag එකත් අරන් පාසල් යන සිසුවියට පෙම්වත් ශිෂ්‍යයා තම හැඟීම ප්‍රකාශ කරන ආකාරය...

"දහසක් බුදුන් බුදු වුන හිමිදිරි යාමේ
ඈ යන්නීය පීනස් තෙල් වෙළඳාමේ
ඒ යන ගමන් මට නොපුදාවිද ප්‍රේමේ
එක දවසකින් ගොඩ නැගුවේ නැත රෝමේ..."

   දෙවැනි රූප රාමුවෙන් දැක්වුනේ ඔහු අනපේක්ෂිත කුඩ ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන් වී පලා යන ආකාරය...

"පෙම් දම් පවත්තන හැටියට නොපවත්තා
කළබල වුනේ ඇයි ඔය හැටි ඔය ඇත්තා
ගිණි දැල් බුර බුරා පැන නැග නොනවත්තා
ගොඩනැගුමටත් පෙර රෝමය ගිණි ගත්තා..."

   මේ කතාවෙ කතෘ අඥාත නම් නෑ ඒත් මට මේ කාව්‍ය රචකයාගේ නම මතක නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් සියල්ලන්ගේම දැන ගැනීම සඳහා සටහන් කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා.

Wednesday, April 14, 2010

ආ.. වඩා... ආ.. යු බොහෝ...... වේවා......

    කිරියෙන් පැණියෙන් ඉතිරීම කෙසේ වෙතත් හැමෝටම හිතේ සතුටින් සාමයෙන් ජීවත්වෙන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරන ගමන්ම, අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත් වැඩකට අත ගහන්නයි මේ සූදානම.

    උපන් දා ඉඳලා අද වෙනකන් ඉමක් නොපෙනෙන ජීවිත ගමන් මගේ, අපි ඇවිදපු දුර බොහොමයි. ඒ දුරෙන් වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙන්නේ තැනත් නියමයක් නැතුව හරි හමන් පාරක් නැතුව වල්මත් වෙලා වගේ අයාලේ ඇවිදිමින්. පොඩ්ඩක් හිතන්න, අද මෙතන ඉඳන් ආපහු හැරිලා බැලුවොත්  අපි ආපු පාරක් අපිටවත් හොයාගන්න බෑ... නේද? අපේ අඩි සලකුණු කාලයත් එක්කම මැකිලා ගිහින්. කොටින්ම මගේ පැත්තෙන් බැලුවොත් මටනම් මගේ උපන් දිනේ ඇරෙන්න වෙන කිසිම වැදගත් දවසක් නිකමටවත් මතක නෑ. අපෙන් කීයෙන් කී දෙනෙකුට අවංකවම කියන්න පුළුවන් වෙයිද මටනම් එහෙම නෑ කියලා....

    ඉතින් අපිට බැරි වෙයිද මේ තත්වයෙන් මිදෙන්න? අපිටම බලලා මතක් කරගන්න විතරක් නෙමෙයි, අපේ කාලේ සිද්ධ වුන දේවල්, අපි අපේ ජීවිත ගෙවපු හැටි අපෙන් පස්සේ එන පරම්පරාවලටත් කියවලා බලලා යමක් ඉගෙනගන්න, මේ කාලේ ගැන දළ වශයෙන් හරි අදහසක් ගන්න පුළුවන් වෙන දෙයක් ඉතුරුකරලා යන්න අපිට බැරි වෙයිද?

    'ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්' කියන ඇමරිකානු ලේඛිකාව 20 වන සියවසේ මුල් කාලයේදි ප්‍රකාශයට පත් කල 'ලිට්ල් හවුස්' කතා මලාව කියවපු කෙනෙක් ඉන්නවනම් මතක ඇති, තැනකදි ඇය කියනවා "මම ලිව්වේ මගේ ජීවිත කතාව, ඒත් අද මට හිතෙනවා මම මේ ලියලා තියෙන්නේ ඇමරිකාවේ ඉතිහාසය නේද කියලා". ඉතින් අද අපේ වර්තමානය හෙට ලෝක ඉතිහාසයට එකතු වෙද්දි අපෙනුත් දෙයක් ඒ ඉතිහාසයට එක් කරන්න සමහරවිට අපිටත් බැරිවෙන එකක් නෑ...

    දවසින් දවස ගෙවිලා යන ජීවිතේ අත්දැකීම්, මතක සටහන්, වැදගත් කියලා හිතෙන දවස් විතරක් නෙමෙයි කිසිම තේරුමක් නැතුව හිතට එන වල්පල්, අනං මනං ඔක්කොම සයිබර් අවකාශයේ සටහන් කරලා තියන්න, එහෙමත් නැත්තන් මගේ ජීවන ගමන් මගේ පිය සටහන් තවදුරටත් මැකිලා යන්න ඉඩ නොදී ඉදිරියටත් පවත්වාගෙන යන්න දරන පුංචි උත්සාහයක් මේ....

    එහෙනම් අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතන්න... අලුත් විදියට ලෝකය දකින්න... හැමෝටම ආ.. වඩා...  ආ.. යු බොහෝ...... වේවා......!!!!!

Thursday, March 25, 2010

මේ ඇයගේ කතාවයි...




     වෙනත් සහෝදර සහෝදරියන් නොසිටීමත් වයස් පරතරය ඉතා කුඩා වීමත් හේතුවෙන් කුඩා කළ ඇය මගේ හොඳම සහ එකම මිතුරිය බවට පත් වුවත් පසු කාලීනව ඇගේ හැසිරීම් රටාව මා ඇගෙන් තරමක් දුරස් කර තබන්නට සමත් උනා. මේ ඇයගේ කතාවයි...
    
      නංගි හැදිලා තියෙන්නේ ලෝකෙ තියෙන තරමක් සැර මිරිස් ජාති ඔක්කොම එකතු වෙලා කියලයි මම ඒ කාලෙ හිතුවේ. කොටින්ම කිව්වොත් එයාට තිබුනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ජාතියේ ලෙඩක්.  පොඩ්ඩ එහා මෙහා වුනොත් Sorryම තමයි. "නයි කයිද රෝස් පාන්" කිව්වලු..., අපි බය වෙයිද ඕවට... එයාගෙම අයියනෙ ඉතින් මම...
    
      මට ඒ දවස්වල තිබුන ජොලිම වැඩේ තමයි මෙයාව අවුස්සන එක. අම්මා කියනවා වගේ මෙයා ඉතින් කොයි වෙලෙත් පෙනේ පුප්ප ගත්ත ගමන්මයි. හැබැයි අවුලකට තියෙන්නේ පෙනේ පුප්පලා විතරක් නතර නොවී දරුණු විදියට දෂ්ඨ කරන්නත් පටන් ගන්න එක. ඒ වෙලාවට අතට අහුවෙන ඕනෙම weapon එකක් මට විරුද්ධව භාවිතා කරන්න කිසිම පැකිළීමක් නෑ. ඔය අවි ගබඩාවෙ පිහි, බෝතල් කටු, පිඟන් කෑලි, කළු ගල්, ගඩොල් වගේ හරිම සුමුදු සුසිනිඳු දේවලුත් නැති උනේ නෑ. මමත් ඉතින් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වලා ප්‍රති ප්‍රහාර එල්ළ කරන කොටම තමයි හැමදාම පොලිසියෙන් කඩා පනින්නේ.
     
      කොහේද ඉතින් මේ අන්ධ නීතියත් එක්ක මොකුත්ම කරන්න බෑනෙ, පොලිසියෙ ඇසින් දුටු සාක්ෂි අනුව පැහැදිළිවම වැරදිකාරයා මම නිසා හැමදාම මටම තමයි කූරු ගණන් කරන්න සිද්ධ වුනේ. ඒ විතරක්යැ ශිෂ්‍යත්ව විභාගෙ ළං වෙද්දි අපේ පොලිස් නිළධාරිනිය ඕකම අවස්ථාවක් කරගත්තා මාව නිවාස අඩස්සියේ තියාගෙන පාඩම් වැඩ කරවන්න. නංගි අනිත් යාළුවො එක්ක ගේ වටෙ දුව දුව සෙල්ලම් කරද්දි මම ගේ ඇතුලට වෙලා ගණන් හදනවා... කොහොමද දැනෙන සනීපෙ? :) ඇසින් දුටු සාක්ෂි නැති වෙලාවක උනත් 'ග්ලිසරින්' භාවිතා නොකර කඳුළු මැවීමට ඇයට තිබූ නිසර්ග හැකියාව යොදාගෙන පොලීසියත් උසාවියත් නොමග යැවීමට ඇය පසුබට උනේ නෑ. අනේ ඉතින් අහිංසක මං... මතක් වෙනකොටත් දුකයි... :(        
    
      කොහොම හරි ඉතින් කාලයත් එක්ක ඔය තත්වය තව තවත් වර්ධනය උනා මිසක් අඩුවක් නම් උනේ නෑ. දෙන්නා කතාකරන්න පටන් ගත්තොත් ඒක ඉවර උනේ වළියකින්ම තමයි. දවසක් ඔය විදියට ඇතිවුන දරුණු ගැටුමකින් පස්සේ ඉහල උසාවියෙන් මට දැඩි දඬුවම් නියම වුනා... ඒකට හේතුභූත උනේ 'අහිංසක නංගිගේ දිගු කේශ කළාපයෙන් ඇදීම සහ ඒ හේතුවෙන් ඇයට ක්ෂණිකව ඇතිවූ දරුණු හිසරදය'. අර නිසර්ග හැකියාව නිසා වැඩේට තවත් පෝර වැටුනා
       
      ඔන්න එදා තමයි මම තීරණේකට ආවේ මෙයාව හදන්න නම් රජකාලේ දඬුවම් දීලා යහරියන්නෙ නෑ බුදු කාලේ දඬුවමක් දෙන්න ඕනේ කියලා. අහලා ඇතිනේ බුදු රජාණන්වහන්සේ ඡන්න ඇමතිට පනවපු දඬුවම ගැන... ඔය 'බ්‍රහ්ම දණ්ඩනය' තමයි බූදු සසුන තුල පැනවුනු දැඩිම එහෙමත් නැත්නම් දරුණුතම දඬුවම විදියට සැළකෙන්නේ. ඉතින් මම එතන ඉඳන් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව මගේ ඒකමතික තීරණයට අනුව නගාට එරෙහිව 'බ්‍රහ්ම දණ්ඩනය' පැනෙවුවා.
       
      කිසිම කෙනෙක් විශ්වාස නොකලා වුනත් එදා ඉඳලා අවුරුදු ගාණක් ගතවෙනකනුත් මම වචනයක්වත් කතා කලේ නෑ නංගිත් එක්ක. ඒත් පස්සේ පස්සේ එයාම කතා කරන නිසා මටත් දුක හිතිලා දඬුවම ලිහිල් කරලා යාළු වෙන්න ගත්ත හැම උත්සාහයක්ම කෙළවර උනේ සුපුරුදු විදියටම යුද්ධ ප්‍රකාශ කරලා.


      " උඹ මොකටද ඔච්චර සෙකන්ඩ් වෙන්නේ? උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන් " මගේ හිතත් මට ඇඩ්වයිස් දෙන්න පටන් ගත්තා. එතනින් පස්සේ නම් අම්මයි, තාත්තයි විතරක් නෙමෙයි නැන්දලා මාමලා යාළුවෝ කොච්චර කිව්වත් මම නෙමෙයි සෙකන්ඩ් වෙන්න ගියේ. කලාතුරකින් වගේ වචනයක් දෙකක් කතා කළත් ඒකත් අවශ්‍යතාවයට විතරක් සීමා උනා.
       
      හැබැයි ඉතින් ඔය මොනදේ උනත් එයා මට අම්බානකට ආදරෙයි කියලානම් මම දැනගෙන හිටියා.. කිව්වට මොකෝ මාත් ඉතින් එහෙම තමයි :) නංගිට හැමදාම ඕනෙ උනේ මං වගේ වෙන්න, (හැම නංගි කෙනෙක්ම පොඩි කාලේ එහෙම වෙන්න ඇති සමහරවිට) මම කරන හැම වැඩේම ඒ විදියටම එයාටත් කරන්න ඕනෙ උනා. මම මොකක් හරි චිත්‍රයක් ඇන්දොත් එයත් අඳිනවා ඒකෙම ෆොටෝ කොපියක්, මොකක් හරි හැදුවොත් එයාටත් ඒකම හදන්න ඕනේ, බැරි උනොත් මම හදලා දෙන්නත් ඕනේ. මම මොකක් හරි බඩුවක් අතට ගත්තොත් එයාටත් ඒකම ඕනෙ වෙනවා ඒ වෙලාවෙම, නැති උනොත් ඉතින් වළි තමයි :)
       
      පස්සෙ කාළෙක මම කවි නිසඳැස් වගේ දේවල් ලියද්දිත් එයා ඒ ප්‍රතිපත්ති ඒ විදියටම පවත්වාගෙන ගියා. ඒක මට අහුවුනේ එයා ගෙදර නැති වෙලාවක එයාගෙ පොතක් බලන්න ගිහිල්ලා :) දැකලා පුරුදු කවි සෙට් එකක් අන්තිම පිටුවේ... හුටා, කෝ යකෝ Copy rights? චිත්‍ර නම් කොපි කළත් මොකෝ ඒත් කවි? මගේ කිසිම අවසරයක් නැතුව මගේ පොත්වලින් මගේ කවි හොරකම් කරලා මදිවට සමහර වචනත් වෙනස් කරලා.... හැබැයි ඕකට වළියක් අදින්න නම් මට එයත් එක්ක කතා කරන්න වෙනවා, අනිත් එක කෙල්ල නිර්මාණ කොපි කළාට හැකියාවකුත් නැත්තෙම නෑ... මොකද එයා දාලා තිබුන වචන මගේ වචන වලට වඩා නිර්මාණයට තිතටම ගැලපුනා. ඉතින් මම කලේ වළි අදින අදහස අතෑරලා ඒ වචන සෙට් එකත් මගේ වාග් මාලාවටම ඇතුලත් කරගෙන, මොකුත්ම දැක්කෙත් නෑ දන්නෙත් නෑ  නෑ වගේ හිටපු එක.. කොහොමද ටිකිරි මොළේ...? :)
        
      කොහොම හරි ඉතින් නිහඬව ගත වුනු අවුරුදු ගාණකට පස්සේ මම නංගිත් එක්ක හොඳින් කතා කළේ ලංකාවෙන් පිට උනාටත් පස්සේ. පවුලේ කිසිම කෙනෙක් නොදැක ගතවුනු අවුරුදු 2 1/2 කට විතර පස්සේ මගේ හිත දුකින් පිරිලා ගියේ මගේ එකම නංගි මනමාළියක් වෙන දවසේ, මට එයාව දකින්නවත්, අඩුම ගානේ දුරකථන ඇමතුමකින් සුබ පතන්නවත් අවස්ථාවක් නැති වුන නිසා. මොකද කොච්චර කතා නොකර හිටියත් කොච්චර වළි දාගත්තත් හැම අයියා කෙනෙක්ගෙම වගේ මගේ හිතෙත් ලොකු හීනයක් තිබුනා නංගිගේ Wedding එක මේ මේ විදියට කරනවා කියලා. ඒ දේවල් මට කරගන්න බැරි වුනත් ඒ හැමදේම අන්තිමට මගේ හිතේ තිබුන විදියටම සිද්ධ වෙලා තිබුනා.
         
      ඉතින් ඇගේ විවාහ මංගලෝත්සවය දිනයේ මගේ අතින් ලියැවුනු මේ පද කිහිපය තුල මම මෙතෙක් කියූ නොකියූ සම්පූර්ණ කතාවම ගැබ් වෙලා තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ.


"එපා නුඹ යළි මග බලන්නට පෝරුවේ හිඳ හොර හොරෙන්
එන්න හැකිනම් නෑ හිඳින්නේ අද දිනේ වත් නෑවිදින්
මනාළිය සේ නුඹ දකින්නට නගේ මට හිමි නෑ ඉතින්
සමාවීයන් නුඹේ අයියට ඔහුට නෑ ඒ තරම් පින්..."
                                                                     
                                                                   (25/06/09)

Thursday, March 11, 2010

මෙතෙක් හමු නොවූ ඇය....

ඈත සිතිජයෙ සැඟවිලා
හිරුත් මිලිනව යනු බලා
මගේ සිතුවිලි පා කරන්නම්
සුළං රැල්ලක දවටලා..

පුංචි තරු කැට දිළිසිලා
සඳට තනි මකනා නියා
හදේ තනිකම මැකී යා නම්
සඳක් වී ඔබ හිනැහිලා..

නේක මල් හසරැල් සලා
මා වටා සිටියත් බලා
මල් ලොවේ අග රැජිණ ඔබමයි
හිඳිමි තවමත් මග බලා..

හදේ සෙනෙහස පුරවලා
රෝස මල් පෙති අතුරලා
සත්තකයි මම බලා ඉන්නම්
එන්න හැකිනම් පියඹලා...


(05/11/09)

Monday, January 11, 2010

කාලෙකට ඉස්සර...

              මගේ ජීවිතේ ගෙවුන ලස්සනම කාලේ තමයි පාසල් ජීවිතේ අන්තිම අවුරුදු 2, කොටින්ම කිව්වොත් A/L කාලේ. ඒ කාලේ කරපු කියපු දේවල් ගැන නෙමෙයි මම දැන් කතා කරන්න යන්නේ මොකද ඒවා මෙහෙම පොඩි ලිපියකින් ලියන්න බැරි නිසා. මොකක් හරි හේතුවක් නිසා ඒ කාලෙ මගේ අතින් එක එක දේවල් ලියවුනා. මම එහෙම කියන්නෙ ගොඩක් දේවල් හිතලා කල්පනා කරලා ලියපු දේවල් නෙමෙයි නිසා.සමහරවිට හිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව සැහැල්ලුවෙන් සතුටින් හිටපු නිසා වෙන්න ඇති. දැන් ඉතින් තියෙන ප්‍රශ්නත් එක්ක ඔය කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑනෙ.
                මම මේ දැන් Upload කරන නිර්මාණ වැඩි හරියක්ම ඒ කාලේ ලියවුන දේවල්. එත් ඉතින් මතක තියෙන විදියට තමයි මේ ටිකත් ලියාගත්තේ (ලියුම් කෑල්ල ඇරෙන්න). මොකද ඕවා ලියලා ඇත්තෙ තැන් තැන් වල, (Tutes වල Hand bills වල පොත්වල අන්තිම පිටුවේ...)  ලංකාවෙ හිටියනම් හොයාගන්න තිබුනා ගොඩක් ඒවා. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැති නිසා මතක තියෙන දෙක තුනක් ලියලා දැම්මා. අම්මට කිව්වොත් නම් හොයලා එවයි, ඒ උනාට ඕවා හොයන්න ගිහින් තව මොන මොන ඒවා අම්මට මාට්ටු වේයිද කියලා Sure නැති නිසා ඒ අදහස අත ඇරලා දැම්මා. ලංකාවට ගිය දවසක ඒවා හොයලා බලන්න ඕනෙ. එතකන් ඉතින් ඉඩක් තියෙන වෙලාවක මේ පැත්තටත් ඇවිත් තියෙන දෙයක් කියවලා බලලා Comment එකක් එහෙමත් දාලම යන්න කියලා නවක Blogger කෙනෙක් විදියට හැමෝටම කරන විවාත ආරාධනාවක් මේක...... ඒ එක්කම කියන්න ඕනෙ මම "නින්ද නේන රාත්‍රියේ" දි කිව්වා අහම්බෙන් දැකපු සිංහල Blog එකක් ගැන, ඒක තමයි නොදරුවාගෙ "නිකමට වගේ" Blog එක. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි නොදරුවා..

නොයන් ළඳේ මා හැරදා...


          මේ කවිය (මට හිතෙන්නේ ඒක කවියක් කියලා) මම හිතලා ලියපු එකක් නම් නෙමෙයි, සෙනසුරාදා පාන්දරක Class යන්න Ready වෙන ගමන් නිකන්ම හිතට ඇවිත් කොල කෑල්ලක කුරුටු ගාපු වචන ටිකක්. මේක මගේ පොතක තියෙනවා දැකපු Class එකේ යාළුවෙක් කොලේක ලියාගෙනත් ගියා ගෑනු ලමයෙකුට දෙන්න කියලා, හැබැයි ඊට පස්සේ මොනවා උනාද කියලා නම් දන්නේ නෑ.


හිරු ගිලුනු අමාවක අහස් කුස කළු වෙලා
අඳුර අතරින් උනත් දැක්කෙ ඔබෙ පෙම් සිනා
යන්න නම් එපා මගෙ පෙම් සිහින බිඳ හෙලා
කඳුලු බිඳුවක් වෙලා දෙනෙත් අග පීදෙනා..


සියොත් කැල ගයන පෙම් ගී ගියත් ගොළු වෙලා
ලොව සුවඳවත් කරන මල් ගියත් පර වෙලා
හිරු ගියත් ලෝකයම අඳුරු කර හැර දමා
මා ලඟින් ඉන්න ඔබ හැමදාම හිනැහිලා...


( දිනේ හරියටම මතක නැති වුනත් 2002 වෙන්න ඕනෙ)

අහිමි වූ පෙම්වතී...

 
           මුලින්ම කියන්න ඕනෙ මෙක මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෙමෙයි. මේක ලියවුනේ මට මතක විදියට class එකක ඉන්න ගමන් අතේ තිබුන පොඩි hand bill එකක. මේක කවියක්ද නිසඳැසක්ද එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ලියුමක්ද කියලා මම දන්නේ නෑ. මේක මොන හේතුවකට ලිව්වද කියලත් මම දන්නෙ නෑ. ඔයාලම කියවලා බලන්නකෝ...


යා මාව මේ ලෝකෙ තනි කරලා අතරමං කරලා ගියාට, මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ. ඔයාට වෛර කරන්න තියා එහෙම හිතන්නවත් මට බෑ.
ඔයා මාව ඇඬෙව්වත් මට මොන තරම් රිද්දුවත්, මං විඳපු ඒ හැම දුකක්ම හැම වේදනාවක්ම ඔයාටත් ලබා දෙන්න කියලා මං දෙවියන්ට කියන්නෙ නෑ. ඔයාට මේ තරම් ආදරේ කරපු, ආදරේ පිරිලා තිබුන හිතකින් මං කොහොමද එහෙම කරන්නේ.. මගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු ඔයාට මං කොහොමද වෛර කරන්නෙ, මගෙ හිත එච්චර දරුණු නෑ.


දා මං දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඔයාට කවදාවත් දුකක් වෙන්න එපා කියලා, හැමදාම සතුටින් තියන්න කියලා. අදත් මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ඔයා මට දීපු මේ දුක වේදනාව ඔයාට නම් කවදාවත්ම ලැබෙන්න එපා කියලා.
එදා අපි කොච්චර සතුටින්ද හිටියේ.. ලස්සන ලස්සන තැන්වල ඇවිදින්න ගිය හැටි, අපි කතා කරපු දේවල්, අපේ අනාගතේ ගැන ඔයා කියපු දේවල්.. මෙච්චර ඉක්මනට ඔයාට අමතක වුනේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ. මගේ හිතේ නම් ඒවා සදාකාලික මතකයන් විදියට රැඳිලා තියේවි, පුර හඳ නැතුව පාළුවට ගිය මගේ හිත් අහසෙ තරු රටා අතර සුදු පාටට දිළිසෙන 'සීරියස්' තාරකාව වගේ ඒ මතකයන් බැබළේවි.


දරේ කියන්නේ කවදාවත් වෙනස් වෙන විනාශවෙන දෙයක් නෙමෙයි, ආදරේ සදාකාලිකයි. මං ඔයාට දීපු ආදරෙත් එහෙමමයි. ඔයාව මට ලබාගන්න බැරි උනාට , ඔයා මගේ අහිංසක හිත බිඳලා දැම්මට මගේ ආදරේ වෙනසක් නෑ, ඒක අයිති ඔයාටයි.. ඔයාට විතරමයි.යාළුවො මට හිනාවෙනවා.. "එක මාළුවද බන් මූදෙ ඉන්නේ?" උන් හැමෝම කිව්වෙ එහෙමයි. ඒත් මගේ හිත ගත්ත මාළුවා නැතුව වෙන මාළු කොච්චර හිටියත් මට වැඩක් නෑ.
ආදරේ සුන්දරයි.. කව්දෝ පණ්ඩිතයෙක් එහෙම කියලා තිබුනා මට මතකයි. මාත් ඒ කාලෙ හැමෝටම කිව්වෙ එහෙම තමයි. ඒකෙ ඇත්තකුත් නතුවාම නෙවෙයි, ඒත් 'ආදරේ සුන්දර වරදක්' කියන එක ඊට වඩා කොච්චර ගැලපෙනවද කියලා මට දැන් තේරෙනවා.


මේ ආත්මෙදි ඔයාව මට හිමි නැතුව ඇති, ඒත් තව ආත්ම හතකදිවත් මගෙ හිතේ ඔයාට දීපු තැන වෙන කෙනෙකුට ඉඩ නෑ. වෙන කාටවත් එතෙන්ට එන්නත් බෑ. ඒ තැන අයිති ඔයාට විතරයි.
මේ ආත්මෙදි ඔයාගෙ හිමිකාරයා වෙන කෙනෙක් වෙන්න ඇති, ඒ කවුද කියලා මම දන්න නෑ. මම ඒක හොයන්නෙත් නෑ.


වුනාට ඊළඟ ආත්මෙදි නම් එයාට ලං වෙන්නවත් බෑ. මං ඔයාගෙ මතක හිතේ පුරවගෙන, මේ දුක හිතේ තදකරගෙන මේ ආත්මෙ ගෙවාගන්නම්.. හැබැයි ඊළඟ ආත්මේ.....

ඒ ආත්මෙදි නම් ඔයා මගේ... මගේ විතරමයි........


(30/04/2002)