"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Tuesday, August 17, 2010

Bell-bottoms, මංගල මුදු සහ මට පිස්සු(ද?)

   මම තාමත් හොයනවා මාව. මගේ ජීවිතේ. හැමදෙයක්ම එකට පැටලිලා, ඇඹරිලා, හුස්මක් කටක් ගන්න විදියක් නැතුව අන්තෙටම වැටිලා. මේ අවුරුදු 27කට ආසන්න කාලය ඇතුලෙදි ජීවිතේ මාව කොහේටද ගෙනාවේ?

   අවුරුදු 27ක් කියන්නේ වර්තමාන මිනිසාගේ අපේක්ෂිත ආයු කාලයට සාපේක්ෂව සෑහෙන ලොකු කාලයක්. මට සාපේක්ෂව ඒක ඊටත් වඩා ලොකු කාලයක්. මෙච්චර කාලයක් තිස්සේ මේ විශ්ව සම්පත් භුක්ති විඳපු මම ඒ වෙනුවෙන් ලෝකෙට මොනවද දුන්නේ? එච්චර මොකටද, මම මට කියලා මොනවද කරගත්තේ? සමස්ත ලෝකය කියන දේ අමතක කරලා පවුල කියන ඒකකය විතරක් වෙන් කරගෙන ඊට අදාලව ඔය කියපු ප්‍රශ්න ටිකට උත්තර හෙව්වත් මට ලැබෙන උත්තරේ එකම එකක්.

   අතීත සිදුවීම පසු කාලීනව නැවත නැවත සිදුවීම මේ ලෝකයේ ස්වභාවයක්. ඕකට තියෙන හොඳම උදාහරණයක් තමයි විලාසිතා. කාලයක් (60-70 දශක වල) Bell-bottoms කියන්නේ අතිශයින්ම ජනප්‍රිය විලාසිතාවක්. ඒත් කාලයක් යද්දි ඒකම යල් පැන ගිය හණමිටි විලාසිතාවක් බවට පත් වෙනවා. ඒත් එතනින් තවත් අවුරුදු 20ක් (90 දශකයේ අග භාගය) ගතවෙද්දි ඒ විලාසිතාවම ආයෙත් තරුණ පරම්පරාවෙ රැල්ළක් බවට පත්වෙලා, තවත් වසර කීපයකින් නැවතත් අභාවයට යනවා. "ඕක දැන් යල් පැනලා..." කියලා ඒ අතීතය වළදාන්න බැරි, අද ඒක යල් පැනපු පරණ මෝඩ Fashion  එකක් උනාට තව කාලයක් යද්දි ඒක අලුත්ම අලුත් Fashion  එකක් විදියට ආයෙත් සමාජගත වෙන්න හොඳටම ඉඩ තියෙන නිසා.

   කොහොමහරි මට කියන්න ඕනෙ උනේ මේ ලෝකය ඇතුලේ එකම දේ කාලයෙන් කාලයට ආයෙ ආයෙ සිද්ධ වෙනවා කියන එක. කාට හරි හිතෙන්න පුලුවන් ලෝකෙ ගෝලාකාර බවත් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ඉලිප්සාකාර චලිතයත් මේ ක්‍රියාවලියට යම් බලපෑමක් ඇති කරනවා කියලා. ඒකත් වෙන්න බැරි නෑ, ඒත් මටනම් ඒකෙ කිසිම ගෝලීය හැඩයක් පේන්නෙ නෑ. ඒක එච්චර සුමට නෑ කියන එක තමයි මගේ හැඟීම. 

   සම්මත ශිෂ්ඨ විවාහයක් සිද්ධ වෙනකොට මුදු හුවමාරුව අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මම දන්න විදියට ඒකෙන් අදහස් වෙන්නේ අවසානයක් නැති ගමනක් එකටම යන්න දෙන්නෙක් අතර වෙන පොරොන්දුවක්. මුද්දක් කියන්නේ වක්‍රාකාර වස්තුවක්, ආරම්භයක් අවසානයක් හොයන්න බැරි සුමට දෙයක්. ඒත් (විවාහ) ජීවිතේ ඔය තරම්ම සුමට නෑ මගේ පෙනීමේ හැටියට නම්.


   මේ විකාර ඔක්කොම ඔළුවට ආවේ එක්තරා ඡායා රූපයක් දැකලා ඒ ඔස්සේ මගේ ජීවිතේ ගැන හිතන්න ගිහින්. අවුරුදු 27කට ආසන්න මගේ ජීවිත ගමනේ අන්තිම අවුරුදු 3 විතරක් වෙන්කරගෙන මම කාලය හරහා ඒ ආරම්භය හොයාගෙන ගියා. එතන් ඉඳන් අද දවස වෙනකන් ෆිල්ම් එකක් බලනවා වගේ මම පිටතින් ඉඳන් මගේ ජීවිතේ දිහා බලාගෙන හිටියා.

   මුලින්ම මම දැකපු දේ තමයි මම අද ඉන්නෙත් එදා හිටපු තැනමයි... ඒත් අද එතන ඉන්නේ එදා හිටපු මම නෙමෙයි. මම වෙනස් වෙලා, කාලයක් තිස්සේ එකතු කරපු අත්දැකීම් මාව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්කරලා. ඒ වෙනසම තමයි අද මේ විදියට අතීතයට යන්න මාව පොළඹවන්නේ.  

   ආයෙත් මුලට ආවොත්, එදා ගමන පටන් අරන් මම සෑහෙන දුරක් ඇවිද්දා. සෑහෙන දුකක් විඳලා භෞතිකමය වශයෙන් ගොඩක් දේවල් ලබා ගත්තා. ඒත් අද වෙද්දි ඒ හැම දෙයක්ම මගෙන් ඈත් වෙලා... මම ආයෙත් ආරම්භයේදි හිටපු තත්වෙටම පත් වෙලා. ආයෙත් හිටපු තැනටම ඇවිල්ලා. කොටින්ම ජීවිතේ ආයෙත් මුල ඉඳන්ම පටන් ගන්න සිද්ධ වෙලා.

   මම ඒ ආපු ගමන රවුමක්වත් ඉලිප්සියක්වත් වගේ සුමට සුන්දර ගමනක් නෙමෙයි. හැබැයි ප්‍රතිඵලය එකයි. ඇත්තටම ඒක එකම රාමුවක් ඇතුලේ කොටු වෙලා ඈතින් පේන ලස්සන ජීවිතේ වර්තමානයට ගන්න කරපු උත්සාහයක්, එහෙමත් නැත්නම් හිත පාලනය කරගන්න බැරිකම නිසාම අසාර්ථක වූ මෙහෙයුමක්.
 
   මම මේක ලියන්න පටන් ගත්තේ මගේ "හතරැස් වූ ජීවිතය" ට පසුවදනක් විදියට. ඒත් මේ විකාර හිතලා, ලියලා අන්තිමේ මේ වෙද්දි මගේ අදහසත් ටිකක් සංකීර්ණ වෙලා වගේ. දැන් මට හිතෙන්නේ මගේ ජීවිතේ විතරක් නෙමෙයි, 
   මේ මුළු ලෝකෙම හතරැස්....

Friday, August 13, 2010

හතරැස් වූ ජීවිතය


ඇරඹුමක්
ගමනක් සහ අවසානයක්(?)
නෑ බාධකයක්,
අංශක 90ක් සමග යළිත් ගමනක්
නොනැවතී ඉදිරියට....


අනේ මන්දා..
අන්තිමේ
හිටපු තැනමයි
මම....

Friday, May 21, 2010

කවි මඩුවක වග 09 හෙවත් අවසානය...


දින ගණනක් පුරා එක්වී කවි ගෙතුව
මුළු කවි මඩුව රස ආකරයක් කෙරුව
ඔබ හැමදෙනාටම හද පතුලෙන් මතුව
එන සුභ පැතුම් පතනෙමි අහිතක් නැතුව...

කවි මඩුවක් තනා කවි සිත් සනසන්න
පෙරමුණ ගත්ත සැමටම තුති පුදමින්න
මේ බැඳි මිතුරු දම් සදහට පවතින්න
පැතුමක් තියා මම සමුගෙන යමි ඔන්න...




මේ විදියට සමාප්ති සටහනක් තියලා මට කවි මඩුවෙන් කලින්ම සමුගන්න සිද්ධ වුනු නිසා මගේ මඩ ව්‍යාපාරයත් එතනින්ම නැවතුනා. කවි මඩුවේ මගේ කෙරුම් කවි 110කට සීමා වුනත් එය මම මගේ ජීවිතය තුල ලියූ වැඩිම කවි ප්‍රමාණය ලෙස පෞද්ගළික වාර්තාවක් මට හිමිකර දුන්නා. :D එයිනුත් වැඩිම ප්‍රමාණයක් (39 ක්) ලියා තිබුනේ අවසන් දිනය තුල. 110ක් ලියලා මූ කියවන තරමක් නේද... :P


ඇත්තටම මට කරන්න අවශ්‍ය වුනේ මං ගැනම පුංචි පරීක්ෂණයක්. මම සාමාන්‍යයෙන් එක දෙයක් එක දිගටම කරගෙන යන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි. කරන කරන හැම වැඩේම බාගෙට... බ්ලොග් ලියවෙන්නෙත් කලාතුරකින්, මෙහෙම ගිහින් ඒකත් නැවතිලාම යයිද මන්දා... :(


යන්තම් කොහොම හරි පද හතරක් ගැට ගහගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා කවි මඩුවට අයැදුම් කළත් කවියෙන් වාද කරන්න පුළුවන් වෙයිද කියලා සැකයකුත් තිබුනා. ඒ වගේම කවි මඩුව පැවැත්වුනු වෙලාවත් එක්ක මට ඒ හා රැඳී ඉන්න තිබුනු කාලයත් ඉතා සීමිත වුනා. නමුත් නොහිතපු විදියට මම කවියට ඇබ්බැහි වුනු නිසා කඩින් කඩ වුනත් අතරමග නොනැවතී අවසානය තෙක් ඒ හා රැඳී සිටීමට හැකි වුනා. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔය ලියපු පුංචි කවි 110 මට විශේෂ කාරණයක් බවට පත් වෙන්නේ.


ඒ වගේම අතීත කවි මඩුවල අසන්නට ලැබුණු එළිසම සහිත, පද හතරේ කවිය පුළුවන් තරම් කවි මඩුව තුලදී භාවිතා කරන්න මම පුංචි උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ සාර්ථක අසාර්ථක බව තීරණය කිරීම පාඨක ඔබට බාරයි....
ඒ එක්කම මට වඩා සාර්ථකව ඒ කාර්යයේ නිරත වෙමින් මගේ ප්‍රියතම කවියා බවට පත් වූ 'අනුරාධ' සොයුරාට මගේ උණුසුම්  සුභ පැතුම්.


අවසාන වශයෙන් මා හා නිතරම වාදයට පැටළුනු වැප් සොයුරාටත් දිල්, හිපෝ සහ පබලු සොයුරියන්ටත් අදහස ඉදිරිපත් කළ ගීත් සොයුරාට සහ එම අදහස සාර්ථකව ක්‍රියාවට නැංවූ 'ලාංකීය සිතුවිලි' මිතුරු කැළටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නම් සඳහන් නොකළත් කවි මඩුව සාර්ථක කිරීමටත් එය සුන්දර හා රසවත් කිරීමටත් එක් වූ කවියට පෙම් බැඳි සියළුම සොයුරු සොයුරියන් සිහිපත් කරමින් ඔන්න මම නිළ වශයෙන්ම කවි මඩුවෙන් සමුගන්නවා....
ඔබ සැමට කවි බර හෙටක්.......!!!

ආ සැම දෙනට කියවන්නට මගෙ බයිලා
පුදනව ස්තුතිය හදවත දිග ඇරලා
ඔබ සැම මිතුරන්ය සැමදා ඇති රැඳිලා
මගෙ දොර අගුළු ඇත ඔබ සැමටම ඇරිලා...


ප.ලි.
කැමති කෙනෙකුට මෙතනින් ගිහින් සම්පූර්ණ කවි මඩුවම බලන්න පුළුවන්.
2011/04/16

Thursday, May 20, 2010

කවි මඩුවක වග 08

රිසි සේ හැසිරෙන්න හෙවත් කවි මඩුවේ අවසන් මඩ

වැපෝ උඹට මේකට ස්තුති වේවා
පරණ මඩුවෙ ඉඳලා මට ඇති වූවා
හැකි ඉක්මනින් මම මේකට ගොඩ වූවා
අරගෙන මඩ වරෙව් මට මොනවද ඕවා...
ගීත් මොකද බුරනුයෙ බල්ලෙක් වාගේ
මටනම් එහෙත් මේ පැත්තත් එක වාගේ
බයිලාවලට උඹ හරි ආසා වාගේ
වාද බයිලා කියමුද හෙට දින වාගේ...
කව්ද යකෝ ලණු දැම්මේ අපෙ දිල්ට
දාගන්නටයි දත කන්නේ එය වැප්ට
ඒවා කොහෙද මම ඉන්නවා දැන ගන්ට
වැප් බය නොවී වර මම ඉන්නවා උඹට...
යම රජු මොනවටද උඹ අම්මනෙ කාළී
දිල් උඹ ඉන්නකල් තව මොකටද කෑලී
වැප්ටම හලන්නේ ඇයි උඹ පල් හෑලී
වාගෙයි මදය නැති උඹ ප්ලයිවුඩ් ලෑලී...
යක්කු ගැනම මොනවද මේ කියන කතා
අහගෙන ඉන්නෙ කොහොමද මම නැතුව කැතා
ගැහුවත් උඹට මඩ අනලා තදින් ඉතා
හිත රිද්දන්න නම් මගෙ නෑ කිසිම හිතා...
දිල් දිල් නගේ දැන්නම් මට දුකත් දැනේ
ඇයි උඹ එන්නේ පැටලෙන්නට වාගෙ ඇනේ
මා එක්කලා පැටලුනොතින් හොඳට දැනේ
ඒකයි කියන්නේ සාමෙන් හිඳිනු මැනේ...
ආවේ මමත් පෙන්නන්නට ටිකක් වැඩ
කෙල්ලන් මෙතන ඉන්නා කෝ නෑනෙ හැඩ
හතර වටේටම තිබුනත් කොතෙක් මඩ
මට කම් නැතේ මම නෙළුමක් වගෙයි හැඩ...
හිපෝ තලයි මඩ සුපුරුදු ලෙසින් වලේ
දිල් හා එකතු වී සහයෝගෙන්ම බොලේ
මේව දකින මට සිහි නෑ වගෙයි මොළේ
දෙන්නම එකට බැඳ යවමුද ගිලීමලේ...
අහිංසකව හිටි වැපාට මඩ ගහලා
දිල්ටයි හිපෝටයි හොඳහැටි තදවීලා
දෙන්නම් උඹලා දෙන්නට කිරලා මැනලා
කලිසම් ඇතත් නැතුවත් අපි නෑ වැටිලා...
දිල් හට හිතුන මුත් කරනට සුමියා කිස්
හිපෝ ඇවිත් තැබුවයි දෙන්නටම දෙස්
මේ වැඩ අස්සේ දිල්ගේ බත් එකත් රොස්
කන්නට වෙලා දැන් තම්බාගෙනම කොස්...
එලොවට ගියත් මම යළි මෙලොවට එන්නේ
ඒ ආ පසුත් නෑ උඹනම් හැර යන්නේ
මගේ බෙල්ල කඩනට උඹ සැරසෙන්නේ
ඒවට කලින් මම උඹ ගෙන පැන යන්නේ...
හිපෝ බයවෙලා ගැලවුනු කලිසමට
දැන් ඈ සොයයි කට්ටඬියෙක් තොවිලයට
ඔතරම් බයයි නම් උඹ නෑවිත් මෙහෙට
දැන්මම ගිහින් පැනපන් උඹෙ මඩ වලට...
වැපා නැතත් මම තනි වීලා නැත්තේ
සුමින්දයයි සසීන්ද්‍රයයි මගෙ පැත්තේ
පැනලා යන්න මා සමගින් දිල් ඇත්තේ
අනේ හිපෝ උඹමයි තනිවී ඇත්තේ...
හිපෝ මොකද දැන් හිඟමන් අයැදින්නේ
මදුරංගටත් මුකුළුව දාගෙන යන්නේ
වාද කරන්නට බැරුවද දඟලන්නේ
පැරදුම පිළිඅරන් යන්නද සැරසෙන්නේ...
පැන යන එකත් මා හා ජොලි කියාලා
දිල්මයි කිවුවෙ පෙර කවියෙන් ගොතාලා
පොඩ්ඩක් මූසිකය එහෙ මෙහෙ කොරාලා
බැලුවොත් පෙනෙයි මේ ඇත්තයි කියාලා...
වැපා මොටද අල්ලන්නට මට පන්දම්
ගොන් බානක් වුව කම් නෑ දෙනවානම්
ඉරිසියාව නම් හොඳ නෑ මේ අන්දම්
එන්නට කැමතිනම් ඔබටත් නෑ තහනම්...
අපොයි හිපෝ ඕවා නම් කැත වැඩය
ගැහුවොත් මඩක් මම නම් එය මූණටය
තව තව මඩ ගසා මොකටද වැප් නැතිය
ඉන්නා එකෙක්ටම ගහනා එක හොඳය...
වව්ලෙක් වුනත් මම උඩ එල්ලී ගත්ත
කවි ගොතනවා හෙලවී යන්නට පැත්ත
නූලක් අරන් අඹරා මඩ ගා ගත්ත
අමුනා පබලු එල්ලනවා උඩ අත්ත...
දිළිසෙනු බලන්නට නම් පබලුගෙ මාලා
ගන්නට වෙනවමයි මහ මුහුදේ ඔබලා
මෙතුවක් දවස් හොඳ හැටියට මඩ නාලා
මදිවීලාද තව තව කන්නේ ඉල්ලා...
මෙන්න පබලු දෙනවලු මඩ ගුලි කරලා
කුරුමිණියෙක් වගේ කන ගොම ගුලි හදලා
මට හරි දුකයි උඹ ගැන කඳුලුත් ගලලා
පිසදා ලන්න එන්නද ගමටම කියලා...
මඩනම් තිබුන මුත් අඩුවක් නැතුව තදින්
මම හිටියනේ නෙළුමක් වගෙ ඊට උඩින්
උඹ හිටියනම් ඒ මොහොතෙදි මගේ ළඟින්
සත්තයි අරන් යනවාමයි සැමට හොරෙන්...


මඩේ ඉපදිලා හැදිලා වැඩුනු නිසා
පබලුට ඕවා ලොකු නෑ මඩ පුරුදු නිසා
එනමුත් නගේ මේ මඩ හරි නපුරු නිසා
පරිස්සම් වෙලා හිටියොත් ඒක යසා...
පබලුගෙ හිතට හොඳටම රිදිලා හින්දා
මට පව් කියා හිතෙනවා අඬනා හින්දා
මගෙ කට කොහොමටත් වැඩි හොඳ නැති හින්දා
මට හරි දුකයි නංගියෙ උඹ පොඩි හින්දා...
පොඩියි කියා හිතලයි මම දුන්නෙ මිදී
ආවොත් ඔහොම දෙන්නම් ගැලවෙන්න රෙදී
කොතරම් ගැසුවමුත් මට රිදවන්න වැදී
මා අඬවන්න නම් ඔය හොඳටෝම මදී...


මේ post එකනම් ටිකක් දිග වැඩි වුනා, අන්තිම කොටස වෙනුවෙන් තව post එකක් දාන්න වෙනවා. සමාවෙන්න ඕනේ... ඒ වගේම මේවා සැර වැඩිද කියලත් හිතෙනවා දැන් කියවද්දි.. :( :(  දිල්හිපෝපබලු.. වරදක් කළත් සිතකින් නොවේ හොඳේ...







Wednesday, May 19, 2010

කවි මඩුවක වග 07

FM නාලිකා / අලුත් සින්දු හෙවත් රිසි සේ හැසිරෙන්න

FM නාලිකා පිළිබඳ සංවාද
කරනට ආව මුත් නැහැ මගෙ කිසි භේද
පැරණි ගී වුවත් නවතම වුවත් අද
මමනම් අහනවා හොඳනම් නැහැ වාද...
ඇසෙනා විටදි FM ගිරවියගෙ නද
ඒ වෙත සිත නොයන කෙනෙකුන් ඉන්නවද
සමහර ගීත ඇසුනත් සිත් කරන වද
මහරෑ සවන් ගත වෙයි හොඳ ගීත නද...
ඒකට පිළිතුරක් ඔබ හට කියන්නට
ආවත් සිතට බය ඔබ ඔරවයිද මට
එනමුත් කියමි මම අරගෙන හිතට ගට
නෑ කිසි කතා ගී පමණයි මහ රෑට...
සැමටම කියන්නේ FM ගැන වාද
කරනට තරම් නෑ මට කිසි මතවාද
මොන මොන තරම් FM රට පුරවාද
කොහොමද කියන්නේ මම පිට රට නේද...
මොනවද කොල්ළනේ දැන් මේ තැන වෙන්නේ
පෙනෙනා ලෙසට වාදය හෙඩිමෙන් පිටනේ
මේ හෙඩිමටත් ලියනට කිසිවක් නැහැනේ
සැමටම කරුණු ඇති හෙඩිමක් වෙත යන්නේ...
මඩනම් මඩ දෙන්නම් මම දාලා වැඩ කිඩ
කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වී දෙනවද ඉඩ
කට දැම්මොත් වෙඩි තියනවා තියලා ගල උඩ
ගහගමු අපි මඩ හොඳ හැටි මොනවද මේ පඩ...
මොකද නංගිලා මල්ලිලා නොකර කතා
මමනම් ඉන්නවා වාදෙට ලැදිව ඉතා
එහෙනම් ගහමු මඩ සැම දෙවි පිහිට පතා
වැඩිපුර තියෙන මඩ දෙන්නම් යන්න ඔතා...
මොනවද වැප් කියන්නේ කවි නොව බයිලා
මොකටද ආවෙ උඹ මේ තරමට බීලා
කියපන් ආයෙ යනවිට මා අමතාලා
යන්නට ගිහින් එන්නට හොඳහැටි ගසලා...
කරලා ඇත්තෙ උඹනම් යුතු දේය කළ
වැපා මොකද දඟලන්නේ පැනලා මළ
උදව් කරපු අයටත් මේ වගේ කළ
වැප් වගෙ එවුන් යටකල යුතු දමා වළ...
වමනය කරන්නට නම් මොකටද බිව්වේ
බිව්වා නොවෙයි වමනය මම අස් කෙරුවේ
ඒ මොන දෙයක්වත් මූ නම් නැහැ දුටුවේ
ලැගලා හිටියේ මම යනවිට ගව මඩුවේ...
බලපන් වැපෝ කවි මඩුවේ බර වැඩිදේ
ලෝඩ් වෙන්න කොතරම් වේලා යයිදෝ
හොයලා බලාපන් ඉක්මන් කර ආඳෝ
මඩුවම කඩා වැටුනොත් හරි දුක නේදෝ...
මොනවද සසීන්ද්‍රයො උඹ මේ කියවන්නේ
වැප් මොන පොඩිද මට වැඩියෙන් වැඩිමල්නේ
බොන්නට තිබුනනම් ඇයි මේකාට දෙන්නේ
මම බොනවානෙ මූ බොරුවට දඟලන්නේ...
බයිලා ගහන්නේ ඇයි කවි මඩු අස්සේ
ගීත් උඹට නැතුවද කිසි විස්වාසේ
පීටර් මොකද නයි දාගෙන රෙදි අස්සේ
වාද බයිලා කියමුද මඩුවෙන් පස්සේ...

කවි මඩුවක වග 06

ලංකාව දියුණු කල හැකිද? නොහැකිද?
ඇත්තයි උඹත් කිවුවේ ඇත්තම ඇත්තා
එය ඇසු ගමන් මම උඹෙ පැත්තම ගත්තා
පොදු ජන රවටලා සබයට පැන ගත්තා
මුන් රැල නැති කලොත් මිස දියුණුව නැත්තා...
දියුණුව දකින්නට නම් සිරි ලක් දීපේ
නැතිකල යුතුයි මේ මැටි දෙස් පළු සාපේ
හදනට රට බැරිය පවතින තෙක් මෙ කපේ
නැතිවී යන තුරා සිංහලයගෙ ඕපේ...
ඉරයි හඳයි එක තැන තියනට බැරිවා
වැප්ටයි මටයි එක පස ඉන්නත් බැරිවා
උඹටම මඩ ගසා හිත වාවනු බැරිවා
මේ හෙඩිමෙදී මට කවි කීමට බැරිවා...
අදනම් හරි ගියේ නෑ මට මේ පාර
කවි ලියනටත් බැරිවිය පළවෙනි පාර
නිදිමත ඇවිත් ගහනව කුළු ගෙඩි පාර
දැන් මම ගිහින් බැට දෙන්නම් එන පාර...


සුද්දා නැතිනම් අපි තාමත් අමුඩ කෙටියේ
දෙන්නම් අදහසක් යන්නට පෙර නික්මී
රාවණ රජුත් ගියාලු මොණරෙන් නික්මී
සුද්දා ඇවිත් කෙරුවත් වැඩ නැති හික්මී
උන් නාවනම් තවමත් හෙළයා ගොන්මී...

කවි මඩුවක වග 05

විවාහ ජීවිතේද හොඳ? තනිකඩ ජීවිතේද?

ආවා ඔන්න ආවා මම කවි රැගෙන
කවුරුත් මොකද තාමත් නැත්තේ මෙතන
වැප් සහ සෝරො ඇයි නිහඬව බලාගෙන
විවාහයද තනිකඩදැයි කියනු මැන...

තවමත් තනිකඩයි මම කෙල්ලෙක් නැතුව
බැන්ඳොත් නැතිව යයි ඇති ආතල් සතුව
ලැබුනොත් දිනක කෙල්ලෙක් විලසින් පැතුව
බඳිනව එතෙක් ඉන්නවා තනියට නතුව...

දැන්නම් ඉතින් පැත්තක් ගන්නට වෙනවා
දෙපැත්තටම යන්නට ආසා වෙනවා
අනුවත් වැපත් මට මේ ගැන පවසනවා
කොයි පැත්තටද අඩු මම ඒකට එනවා...

වැට උඩ ඉන්න එක අවදානම් වාගේ
දැන් දැන් වැටත් සෙලවී යනවා වාගේ
ඉක්මන් කරන් බන් මට දැන් ඇති වාගේ
විවාහයට මගෙ හිත ඇදෙනව වාගේ...

වෙනස් වෙලා ඉතිහාසය පළමු වර
වැපා සමග එක පැත්තේ නිශාචර
අදිමු අදිමු ගේමම දැන් දාලා බර
තනිකඩයට කෙලවන්නට අනුවො වර...

ඔබේ පාට නිල් පාටයි
ඒ පැත්තේ සසීන්ද්‍රයයි
පීටර් හා දිල් නෝනයි
උඹලට දෙවියන් පිහිටයි...

ඇයි නංගියෙ දිල් නංගියෙ බයද ඔයා
පාට දැකපු ගමන් මෙයා යන්න ගියා
තරහ නැතුව මේ පාරෙන් එන්න මෙයා
විවාහයට පිවිසෙන් මුළු ලොවට කියා...

දැන්නම් ඉතින් මගෙ ඔළුවත් පිස්සු වුනා
තනිකඩ වෙන්න කවුදැයි පෙර කැමති වුනා
පෙනෙනා ලෙසට තනිකඩයින් නැතිවෙමිනා
බඳින පිලට මේ ඔක්කොම පාත් වෙනා...

පීටර් කොළුවා කෝ ආගිය අතක් නැතී
දිල් නංගී හිටියත් ඇය එන්නෙ නැතී
සසීන්ද්‍රටත් දැන් යන එන මං නොමැතී
අනේ හිපෝ මට උඹ ගැන දුකත් හිතී...

අපොයි නගේ මම ඕවා දන්නෙ නැතී
පාට නිසා නොව මම මේ පැත්තෙ ඇතී
පාටක් මොටද උඹෙ හිත උඹ දන්නෙ නැතී
කවියක් ලියමු වී පැත්තට උඹ කැමතී...

වැපා එය කලේ අප කාගෙත් හොඳට
කිසිවෙක් සිතා පිලකට ගියෙ නැති කමට
ඕකට ඔය තරම් ඔරවන්නේ මොකට
අමතක කර පාට කවි පබඳිමු ජයට...

බලන්න දිල් දැන් මෙහි පාටක් නෑනේ
බොරු කලබල කිසිවක් ඕනෑ නෑනේ
වාද කරන්නට දෙපිලක් ඕනෑනේ
විවාහෙටයි මම තනිකඩ වෙන්නෑනේ...