"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Friday, February 18, 2011

'ස' වික්ටර්... ඔබ හා මම...


"අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ...
තුන් සිංහලයම දූ දරුවෝ..."

   අඩ සියවසකට පසු ඔහු අදත් ගයන්නේ ඒ මධුර මනෝහර හඬින්මය. ඔහුගේ සිරුර මහළු කල නමුදු ඒ මිහිරි හඬ බිඳකුදු මහළු කරන්නට කාලයා අසමත් වූ සැටියකි.

"හිස මල් පිපුනා - හසරැල් නැගුනා
හද සෝ ගිනි දැල් නිවුනා..

නෙතු කැන් දිලුනා - සිතුවැල් බැඳුනා
ජය මංගල ගී ගැයුනා..."

   හිස මල් පිපුනේ ඔහුගේ පැමිණීම අසාය, හසරැල් නැගුනේ කලකට පසු සොඳුරු සංගීත රාවයන් සමග දැහැන්ගතව සන්ද්‍යාවක් ගත කිරීමට අවස්ථාවක් ලැබීම නිසාය, හද සෝ ගිනි දැල් නිවා ලන්නට ඔහුගේ මියුරු ස්වර සංරචනයන්, සංගීත සංයෝජනයන් මෙන්ම ඒ නොවෙනස් හඬ මාධූර්යය තවමත් එකසේ සමත්ය.

"සමිඳු පාමුල පිදෙන විලසින්
නා මලක් වී මා මලත් කම් නෑ...

ගලා ගිය දම් ගඟ අමා
අදත් බැස යයි ලොව තෙමා
රුදුරු බියකරු රාගයේ
අතරමං වූ ලෝකයේ
නිවන් මෙත් සුව ලබන පැතුමින්
පැමිණියෙමි බුදු බණ අසන්නට..."

  1960 දශකයේ මුල් භාගයෙන් ඇරඹී ගලා ගිය ඒ ගී ගඟුල අදත් එසේම ලොව තෙමමින් ගලා යද්දී අති ධාවනකාරී ලෝකයක අතරමංව වෙසෙන අප ඔහුගේ ගී අසන්නට යන්නේ, නිවන් මෙත් සුව ලබන්නට නම් නොවන බව සැබෑය.  එහෙත් සොඳුරු සංගීත රසාස්වාදයක් ලැබීමටත් වෙහෙසින් පීඩිත ගත සිත සැහැල්ලු කර ගැනීමටත් මෙවන් භාවාත්මක මියුරු හඬක්, මෙවන් සුමට සංගීත රාවයක් අවශ්‍යම වන බවද සැබෑය.

 "සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
මතකයි මා නැළවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා..."

   ඔහු ගයයි...
"දොයි දොයි දොයි දොයිය බබා.. බයි බයි බයි බයිය බබා.. නුඹෙ අම්මා කිරට ගියා, කිරි එරවා එන්ට ගියා..."
   ප්‍රේමකීර්ති ද අල්විස් නම් අති සංවේදී සොඳුරු ගේය පද රචකයා සිය මෑණියන් රෝහල් ගත කළ අවස්ථාවක රෝහලේ සිටම කුරුටු ගෑ පද වැල, හද පතුලටම දැනෙන මව් ගුණ ගීතයක් බවට පත් කළ අපූර්වත්වයයි ඒ.

   1976 "මඩොල් දූව" චිත්‍රපටය වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත් කළ තේමා ගීතයද ජීවය ලැබුවේ ඔහුගේ හඬිනි.

"කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්..."

"කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ
මුහුදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ..."
   ඔහු ගයන්නේ නිදහස් හඬිනි... ඒ නිදහස් හැඟුම අප සිතට කා වදින්නේ නිරායාසයෙනි.


   සිරිල් ඒ. සීලවිමලයන් ගේ පද වැල සහ ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ මියුරු තනු නිර්මාණයට ඔහු සිය හඬ මුසු කරන්නේ ළයාන්විතවය.

"මෝහෙන් මුලා වෙලා - මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිහා කොහේද මේ...

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ.. වේ...."


   බුදුන් වඳින්නට බණ අසන්නට දෙව්රම් වෙහෙරට අප කොතෙකුත් යන්නට ඇත. එවන් වූ චිත්ත රූපයක් මවන්නට තරම් මෙවර ඒ හඬ බැතිබරය.

"බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ..."


   ඔහු සිය හඬ ස්වකීය මියුරු ස්වර රචනාව හා එකට මුසු කොට කෙළිලොල් ළමා වියේ සුන්දරත්වය අප ඉදිරියේ මවා පාන්නේ ඉන්ද්‍රජාලිකයෙකු  ලෙසය.
   
"නංගියේ - මල්ලියේ
මල්ලියේ - නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ..//

වැලිබත් උයන්නම් - සැඟවී සිටින්නම්
මාදං කැලෑවේ පලු වීර වදුලේ
කවි ගී අසන්නම් - ඇකයේ රැඳෙන්නම්
මවගේ තුරුල්ලේ - උණුසුම් කැදැල්ලේ
උණුසුම් කැදැල්ලේ..."



"හබල බිඳීලා...... ..... ...."
   අදින්නේ ඔහුය, හුස්ම හිරවන්නේ අපේය. නිසැක වශයෙන්ම ඔහු තවමත් තරුණයෙකු විය යුතුය.

"හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ
හබල බිඳීලා.....
හබල බිඳීලා පෙරළුනු ඔරුවක
සුන් බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි, ඒ දෙස නොබලමි
තොටුපල අයිනේ...
කව්ද අත වනන්නේ..."

   වයස 69දී මෙවන් ගැයුමක් සජීවීව ගයන්නට වික්ටර් හැර වෙන කිසිවෙක් සමත් වේදැයි නොදනිමි. එසේම මෙවන් වයසකදීත් එක දිගට ගීත 30ක් සජීවී ලෙස ගයන්නට සමත් වෙනත් කිසිදු ගායන ශිල්පියෙකු මම මෙතක් දැක නැත්තෙමි.

"හෝපලු වන පෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන..."

රාගධාරී සංගීතයේ ආශ්චර්යය නොවේද මේ... ඔහු වචනයේ පරිසමාප්තර්ථයෙන්ම ගාන්ධර්වයෙකි.


"සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ..."

   බණ්ඩාරවෙල සිට දුම්රියේ කොළඹ එන අතරතුර මෙම තනුව නිර්මාණය කල බව ඔහු වරෙක පැවසුවා මතකය.

"සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ..."

   බණ්ඩාරවෙල සීතල පරිසරය සීතල මද පවන ගීතය හරහා විඳගැනීම අසීරු නැත. 


   කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් විරහව වචනයට නගන්නේ කෙතරම් සුන්දරවද,
"දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වී යැයි..."

 වික්ටර් එය අප හමුවේ චිත්‍රනය කරන්නේ එම හැඟීම දෙගුණ තෙගුණ කරවමිනි. විරහ වේදනාව එසේය. සංස්කාරක 'ගීතනාත් කුඩලිගම' සමරු කලාපයේ ඔහු හඳුන්වන්නේ "ප්‍රේම ගීතයේ රංගවේදියා" ලෙසය, එහෙත් විරහ ගී වුවද ඔහුගේ රංගනයට බාධාවක් නොවන්නා සේය.



   ඉතිං ඊට පස්සේ... 

"ඉතිං ඊට පස්සේ ඔබේ රන් පිළිරූ
පාට පාට දේදුනු සේ මා සිසාරා
මහද මැණික් පහනක් වූවා...

ඉතිං ඊට පස්සේ ප්‍රාර්ථනා වැස්සේ
කුරුළු පියාපත් හිස මැවුනා සේ
ගියෙමු පියාඹා දුර ආකාසේ
දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ
ආනන්දනීය ආදරේ..."
   චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක තේමා ගීතයක් විය යුතුයැයි හැඟේ. මතකයට නැගීම අසීරුය.


   ගීතය ඔහුට හුදෙක් ගායනයක් පමණක් නොව සිය හඬ අති සියුම්ව හසුරුවමින් කරන හැඟීම්බර රංගනයකි. ඔහුගේ ගී අසද්දී නිතැතිමන්ම මනසේ සිතුවම් මැවෙන්නේ එහෙයින් විය යුතුය.

"ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ..."

   ඒ එසේම යැයි තහවුරු වන්නට ඔහුගේ මෙවන් ප්‍රේම ගීයක්,

"පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ...
පෙම්බර මධූ මගේ... පෙම්බර මධූ මගේ..."

මෙවන් යුග ගීයක් ඇසීමම සෑහේ.

වික්ටර්:
"පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා ආදර නැකත ලඟා වේ..."
ඉන්ද්‍රානි:
"නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැරේ මීවද සුවඳ සදා දේ..."


මහගම සේකරයන්ගේ තවත් අපූරු පද මාලාවක්,

"අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්...

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මී විත උතුරා යයි උතුරා..."

ඒ එසේමය, කාලය ඉගිල ගොස්ය...

"අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ...
තුන් සිංහලයම දූ දරුවෝ..."

'ස' ප්‍රසංගයේ ආරම්භය මෙන්ම අවසානයද සනිටුහන් වන්නේ මෙම ගීතය සමගිනි.



   ඔහු පවසන පරිදි මේ ඔහුගේ දසවන මෙන්ම අවසාන ඔස්ට්‍රේලියා සංචාරයයි, නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඔහුගේ බලාපොරොත්තුවක් නැත. එය දුකට කරුණක් වන බව සැබෑය, එහෙත් ඔහු සතුටිනි, ඔහු සැබැවින්ම තෘප්තිමත්ය. අඩ සියවසක දීර්ඝ වූත් වෙහෙසකර වූත් සංගීත චාරිකාව ඔහු පරිපූර්ණත්වයට පත් කොට ඇත.


   "මම ඔබට දීර්ගායුෂ නොපතමි, මන්ද ඒ ඔබේ පැතුම නොවන නිසාය, දිවි ඇති තෙක් ගී ගයන්නැයි නොකියමි, මන්ද එයද ඔබේ බලාපොරොත්තුවක් නොවන නිසාය. මගේ ප්‍රාර්ථනාව ඔබේ බලාපොරොත්තු සඵල වේවා යන්න පමණකි..."

 'වික්ටර්' ඔබට සුභ උපන් දිනයක්...!!!

8 ප්‍රතිචාර:

Ansh Lucky Sri Jay said...

මං 'ස' ප්‍රසංගය දෙපාරක් බලලා තියෙනවා. ඒ දෙපාරම මගේ වයස අවුරුදු 11ක් ඇතුළත. මේ සටහන මාව ඒ අතීතෙට අරන් ගියා.

[කාලෙකින් නැවත පැමිණිම ගැන බොහොම සතුටුයි..]

හා පැටික්කි (MS) said...

ප්‍රසංගය නම් බලලා නැහැ අයියා. ඒත් බොහොම ආස කරන ගායකයෙක්. ගායකයෝ කවදාවත් වයසට යන්නැහැනේ අයියේ. ඒකට ඉතින් තවත් හොඳ උදාහරණයක් තමා.

අක්කා කිව්වා වගේ නැවත පැමිණීම ගැන නම් බොහොමත්තම සතුටුයි.........

නිශාචරයා Nishacharaya said...

@ අන්ශ්,
අවුරුදු 11දි බැලුවනම් එච්චර හොඳ මතකයක් නැතුව ඇති ඒ ගැන නේද? ඇත්තටම සතුටුයි තාම මාව අමතක වෙලා නැති එක ගැන, මම හිතුවා තරහ වෙලා කියලා :)

@ හා පැටික්කි (MS),
ඔයාටත් බොහොමත්ම ස්තූතියි නංගියා, මම හිතුවෙ නෑ දැන් කාටවත්ම මාව මතකවත් ඇති කියලා :)

ආකාසකුසුම් said...

මම ඉතාමත් ප්‍රිය කරන ගායකයෙක් වික්ටර් රත්නායක. . . දෙවතාවක් ශ්‍රී ලංකාවේ මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල ශාලාවේත්, එක් වතාවක් ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදීත් "ස" ප්‍රසංගය නරඹා ඇත්තෙමි. තව තවත් නරඹන්න ආශා හිතෙන සංගීත ප්‍රසංගයකි මෙය.

නිශාචරයා Nishacharaya said...

@ ආකාසකුසුම්,
බොහොමත්ම ස්තූතියි සටහනක් තියලා ගියාට. 'ස' නම් තව සැරයක් බලන්න ලැබුනොත් අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ ප්‍රසංගයක්.

තිස්ස දොඩන්ගොඩ said...

ලියන්න කල්පනාවක් නෑ ආයේ...???

සෝරෝ said...

සා සා සා සා..... නෝ කමෙන්ට්...

hare :-) said...

මටනං තවම එක පාරයි බලන්න වුණේ. එදා අමතක නොවෙන දවසක්. මහරගම තරුණසේවා සභාවෙ ශාලාව පිරෙනවට අමතරව දෙපැත්තෙ හිටගෙනත් අම්බාණක් සෙනග. මම හිතන්නෙ වික්ටර්, නන්දා, සුනිල් එදිරිසිංහ වගේ නිර්මාණකරුවන්ගෙ ප්‍රසංග හැමදාම එහෙමයි...

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....