"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Tuesday, August 17, 2010

Bell-bottoms, මංගල මුදු සහ මට පිස්සු(ද?)

   මම තාමත් හොයනවා මාව. මගේ ජීවිතේ. හැමදෙයක්ම එකට පැටලිලා, ඇඹරිලා, හුස්මක් කටක් ගන්න විදියක් නැතුව අන්තෙටම වැටිලා. මේ අවුරුදු 27කට ආසන්න කාලය ඇතුලෙදි ජීවිතේ මාව කොහේටද ගෙනාවේ?

   අවුරුදු 27ක් කියන්නේ වර්තමාන මිනිසාගේ අපේක්ෂිත ආයු කාලයට සාපේක්ෂව සෑහෙන ලොකු කාලයක්. මට සාපේක්ෂව ඒක ඊටත් වඩා ලොකු කාලයක්. මෙච්චර කාලයක් තිස්සේ මේ විශ්ව සම්පත් භුක්ති විඳපු මම ඒ වෙනුවෙන් ලෝකෙට මොනවද දුන්නේ? එච්චර මොකටද, මම මට කියලා මොනවද කරගත්තේ? සමස්ත ලෝකය කියන දේ අමතක කරලා පවුල කියන ඒකකය විතරක් වෙන් කරගෙන ඊට අදාලව ඔය කියපු ප්‍රශ්න ටිකට උත්තර හෙව්වත් මට ලැබෙන උත්තරේ එකම එකක්.

   අතීත සිදුවීම පසු කාලීනව නැවත නැවත සිදුවීම මේ ලෝකයේ ස්වභාවයක්. ඕකට තියෙන හොඳම උදාහරණයක් තමයි විලාසිතා. කාලයක් (60-70 දශක වල) Bell-bottoms කියන්නේ අතිශයින්ම ජනප්‍රිය විලාසිතාවක්. ඒත් කාලයක් යද්දි ඒකම යල් පැන ගිය හණමිටි විලාසිතාවක් බවට පත් වෙනවා. ඒත් එතනින් තවත් අවුරුදු 20ක් (90 දශකයේ අග භාගය) ගතවෙද්දි ඒ විලාසිතාවම ආයෙත් තරුණ පරම්පරාවෙ රැල්ළක් බවට පත්වෙලා, තවත් වසර කීපයකින් නැවතත් අභාවයට යනවා. "ඕක දැන් යල් පැනලා..." කියලා ඒ අතීතය වළදාන්න බැරි, අද ඒක යල් පැනපු පරණ මෝඩ Fashion  එකක් උනාට තව කාලයක් යද්දි ඒක අලුත්ම අලුත් Fashion  එකක් විදියට ආයෙත් සමාජගත වෙන්න හොඳටම ඉඩ තියෙන නිසා.

   කොහොමහරි මට කියන්න ඕනෙ උනේ මේ ලෝකය ඇතුලේ එකම දේ කාලයෙන් කාලයට ආයෙ ආයෙ සිද්ධ වෙනවා කියන එක. කාට හරි හිතෙන්න පුලුවන් ලෝකෙ ගෝලාකාර බවත් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ඉලිප්සාකාර චලිතයත් මේ ක්‍රියාවලියට යම් බලපෑමක් ඇති කරනවා කියලා. ඒකත් වෙන්න බැරි නෑ, ඒත් මටනම් ඒකෙ කිසිම ගෝලීය හැඩයක් පේන්නෙ නෑ. ඒක එච්චර සුමට නෑ කියන එක තමයි මගේ හැඟීම. 

   සම්මත ශිෂ්ඨ විවාහයක් සිද්ධ වෙනකොට මුදු හුවමාරුව අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මම දන්න විදියට ඒකෙන් අදහස් වෙන්නේ අවසානයක් නැති ගමනක් එකටම යන්න දෙන්නෙක් අතර වෙන පොරොන්දුවක්. මුද්දක් කියන්නේ වක්‍රාකාර වස්තුවක්, ආරම්භයක් අවසානයක් හොයන්න බැරි සුමට දෙයක්. ඒත් (විවාහ) ජීවිතේ ඔය තරම්ම සුමට නෑ මගේ පෙනීමේ හැටියට නම්.


   මේ විකාර ඔක්කොම ඔළුවට ආවේ එක්තරා ඡායා රූපයක් දැකලා ඒ ඔස්සේ මගේ ජීවිතේ ගැන හිතන්න ගිහින්. අවුරුදු 27කට ආසන්න මගේ ජීවිත ගමනේ අන්තිම අවුරුදු 3 විතරක් වෙන්කරගෙන මම කාලය හරහා ඒ ආරම්භය හොයාගෙන ගියා. එතන් ඉඳන් අද දවස වෙනකන් ෆිල්ම් එකක් බලනවා වගේ මම පිටතින් ඉඳන් මගේ ජීවිතේ දිහා බලාගෙන හිටියා.

   මුලින්ම මම දැකපු දේ තමයි මම අද ඉන්නෙත් එදා හිටපු තැනමයි... ඒත් අද එතන ඉන්නේ එදා හිටපු මම නෙමෙයි. මම වෙනස් වෙලා, කාලයක් තිස්සේ එකතු කරපු අත්දැකීම් මාව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්කරලා. ඒ වෙනසම තමයි අද මේ විදියට අතීතයට යන්න මාව පොළඹවන්නේ.  

   ආයෙත් මුලට ආවොත්, එදා ගමන පටන් අරන් මම සෑහෙන දුරක් ඇවිද්දා. සෑහෙන දුකක් විඳලා භෞතිකමය වශයෙන් ගොඩක් දේවල් ලබා ගත්තා. ඒත් අද වෙද්දි ඒ හැම දෙයක්ම මගෙන් ඈත් වෙලා... මම ආයෙත් ආරම්භයේදි හිටපු තත්වෙටම පත් වෙලා. ආයෙත් හිටපු තැනටම ඇවිල්ලා. කොටින්ම ජීවිතේ ආයෙත් මුල ඉඳන්ම පටන් ගන්න සිද්ධ වෙලා.

   මම ඒ ආපු ගමන රවුමක්වත් ඉලිප්සියක්වත් වගේ සුමට සුන්දර ගමනක් නෙමෙයි. හැබැයි ප්‍රතිඵලය එකයි. ඇත්තටම ඒක එකම රාමුවක් ඇතුලේ කොටු වෙලා ඈතින් පේන ලස්සන ජීවිතේ වර්තමානයට ගන්න කරපු උත්සාහයක්, එහෙමත් නැත්නම් හිත පාලනය කරගන්න බැරිකම නිසාම අසාර්ථක වූ මෙහෙයුමක්.
 
   මම මේක ලියන්න පටන් ගත්තේ මගේ "හතරැස් වූ ජීවිතය" ට පසුවදනක් විදියට. ඒත් මේ විකාර හිතලා, ලියලා අන්තිමේ මේ වෙද්දි මගේ අදහසත් ටිකක් සංකීර්ණ වෙලා වගේ. දැන් මට හිතෙන්නේ මගේ ජීවිතේ විතරක් නෙමෙයි, 
   මේ මුළු ලෝකෙම හතරැස්....

5 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

කාලය එකතැන තියෙන කොට අපි වටේ යනවා.....

Ansh Lucky Sri Jay said...

මගෙත් ජීවිතය ඔය වගේ.
වෙලාවකට හිතෙනවා හැමෝගෙම කතාව මේකද කියලා.

said...

මේක බලා මාව නම් හතරැස් උනා බන් :-D

වැප් said...

හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතපන් යාලුවා

නිශාචරයා Nishacharaya said...

Shadow/හේමලයා,
නෑ බන්, කාලය ගොඩක් ඉස්සරහට ගිහින්, ඒත් අපි ආයෙත් කැරකිලා ඇවිත් තියෙන්නේ හිටපු තැනටමයි.

@ Ansh,
අපි වැඩි දෙනෙක්ගේ කතා මේ වගේ තමයි. වෙනසකට තියෙන්නේ අපි ඒ ගැන නොහිතන එක.

@ ම,
මම හිතන් හිටියේ උඹනම් කොහොමත් හතරැස් කියලා, හරියට ගල් බෝතලයක් වගේ... :D

@ වැප්,
ඒකනම් ඇත්ත මචෝ. මොනවා උනත් ඒ අත්දැකීම් නම් කප්පරක් වටිනවා, ඉතින් ඒකත් හොඳක් තමයි. ආපහු හැරිලා බලලා ඒ අත්දැකීම් එක්ක ඉස්සරහට යන එක තමයි මම කරන්න හදන්නේ.

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....