ගිය සතියෙ දවසක් රෑ වැඩ කර කර ඉන්න අතරෙ සෑහෙන කාලෙකට ඉස්සර කියවපු පරණ කතාවක් මතක් උනා. මට ඉතින් උප්පත්තියෙන්ම ආපු ලෙඩක් තියෙනවනේ.. ඔය ලෙඩේ ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි අතට අහුවෙන ඕනෙම ජරාවක් කියවන්නෙ නැතුව විසිකරන්න හිතෙන්නේ නැති එක.
මට මතක විදියට මේ කතාව තිබුනෙ ගොඩක් ඉස්සර දවසක් ගෙදරට මොනවද ඔතාගෙන ආපු පත්තර කෑල්ලක. කතාවයි ඒත් එක්ක තිබුන කාටූන් එකයි කොහොම උනත් කවි දෙක නම් එකපාරින්ම මගේ මතක ගබඩාවට වැටුනා.
මතක තියෙන කෑලි ටික එකතු කරගෙන ඒ කතාව ආපහු අලුත්වැඩියා කරගත්තොත්...... මෙන්න මෙහෙමයි වුනා කියන්නේ......
කාලෙන් කාලෙට එන එක එක රැළි තියෙනවනේ.. ඒ වගේ ඉස්සර එක කාලයක් පාසල් ශිෂ්‍යාවන් අතර ජනප්‍රිය වෙලා තිබුනලු කුඩා ප්‍රමාණයේ Suit case වර්ගයක් school bag එක විදියට. ඉතින් ඒ කාලෙ කොල්ලො මේ වගේ suit case අරන් යන් කෙල්ලන්ට විහිළු කලේ "තෙල් වෙළෙන්ඳියෝ" කියලලු. මොකද තෙල් බෙහෙත් විකුණන අයත් පාවිච්චි කරන්නේ ඔය වගේ bag නේ.
"ආ නංගී, තෙල් වෙළඳාමේ යනවා වගේ...." වගේ කතා නිතරම ඇහෙන්න ඇති නේද? :)
ඉතින් ඔන්න ඔය කාලේ එක්තරා කවියෙකුට(මතක විදියට ඔහු ජාතික පුවත්පතක සේවය කළ කෙනෙක්) ඔහුගේ හිතවත් කාන්තාවක් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලාලු ඒ ඇත්තිගේ දෝණියන්දෑ පිළිබඳව. මේ ගෑණු දරුවට තිබිලා තියෙන ප්‍රශ්නේ තමයි පාසල් යන එන අතර පිරිමි ළමයෙක්(පාසල් ශිෂ්‍යයෙක්) ආදර හැඟීම් ප්‍රකාශ කරමින් පස්සෙන් එන එක. මොන දේ කිව්වත් කොල්ලා try එක අත අරින්නෙම නෑලු. ඉතින් මේ කරදරේ නිසා ඇය පාසල් ගමනටත් අදිමදි කරන බව තමයි අම්මා කියලා තියෙන්නේ.
ඔය කතාව අහගෙන හිටපු කවිකාර පත්තර මහත්තයා දීලා තියෙන උපදේශේ තමයි ඔය කරදර කරන්න එන අයට එරෙහිව කුඩේ පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ අම්මත් බොහොම සතුටින් උපදේශේ පිළිගත්තලු.
ඊට සතියකට විතර පස්සේ ඔහුට ආරංචි උනාලු අදාල ප්‍රේමවන්ත ශිෂ්‍යයා තමන්ගේ සිහින කුමරියගෙන් හොඳ කුඩ පහරක් එහෙම කාලා සත්‍යාවබෝධය ලබාගත් බව. පත්තර කාරයන්ටත් නිකන් ඉන්න බැරි නිසා පහුවෙනිදා පත්තරේ ඔය සිද්ධියට අදාලව ලස්සන කවි දෙකක් එක්ක කාටූන් එකක් එහෙම පල කරන්න අපේ කතානායකයා අමතක කරලා නෑ.
අවාසනාවකට වගේ ඒ කාටූන් එක අලුත්වැඩියා කරලා අඳින්න තරම් මගේ සිත්තර හැකියාවනම් දියුණු නෑ....
ඔය කාටූන් එක ඔහු ඇඳලා තිබුනේ කොටස් දෙකකට. මුල් කොටසේ තිබුනේ suit case school bag එකත් අරන් පාසල් යන සිසුවියට පෙම්වත් ශිෂ්‍යයා තම හැඟීම ප්‍රකාශ කරන ආකාරය...
"දහසක් බුදුන් බුදු වුන හිමිදිරි යාමේ
ඈ යන්නීය පීනස් තෙල් වෙළඳාමේ
ඒ යන ගමන් මට නොපුදාවිද ප්‍රේමේ
එක දවසකින් ගොඩ නැගුවේ නැත රෝමේ..."
දෙවැනි රූප රාමුවෙන් දැක්වුනේ ඔහු අනපේක්ෂිත කුඩ ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන් වී පලා යන ආකාරය...
"පෙම් දම් පවත්තන හැටියට නොපවත්තා
කළබල වුනේ ඇයි ඔය හැටි ඔය ඇත්තා
ගිණි දැල් බුර බුරා පැන නැග නොනවත්තා
ගොඩනැගුමටත් පෙර රෝමය ගිණි ගත්තා..."
මේ කතාවෙ කතෘ අඥාත නම් නෑ ඒත් මට මේ කාව්‍ය රචකයාගේ නම මතක නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් සියල්ලන්ගේම දැන ගැනීම සඳහා සටහන් කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා.